උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්රයේ නිලධාරීන් වෙනුවෙන් වෙන්කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පිහිටි රථගාලේ නවතා තිබූ මෝටර් රථ දෙකක ටයර් අටම සොරකම් කළ පුද්ගලයකු කෙසෙල්වත්ත පොලිසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක පදිංචිව සිටින නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
දින දෙකක කාලයක් තුළ සැකකරු මෙම වාහන අසළට පැමිණ සැක නොසිතෙන ආකාරයෙන් වාහනවල ටයර් එකිනෙක සොරාගෙන තිබෙන බවත් ඒ සොරාගත් ටයර් වෙනුවට ගෙවී ගිය ටයර් සූක්ෂම ලෙස යොදා තිබෙන බවත් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අධීකරණ අමාත්‍යාංශය හරහා ලද පැමිණිල්ලකට අදාළව කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බමුණුසිංහගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.කරුණාරත්න ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කළහ.
ආරක්ෂිත කැමරා ආශ්රයෙන් සිදුකරන ලද විමර්ශන මගින් සැකකරු හඳුනාගෙන තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශන මගින් සොරාගත් ටයර් අටම මරදාන ජේතවන පාරේ ටයර් අලෙවිසැලකට විකුණා ඇතැයිද අනාවරණය වී ඇති අතර සැකකරු ඊයේ අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
එෆ්. අස්ලම්
0 Comments