monkey-pox

පැපොල සහ වසූරිය රෝග නොවන අතරමැදි තත්ත්වයක් වන වදුරු පැපොල වයිරස් රෝගයේ දැඩී ව්‍යාප්තිය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය  හදිසි තත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. පසුගිය 25 වැනිදා වනවිට වඳුරු පැපොල රෝගය රටවල් 75කින් වාර්තා විණි. සමස්ත ආසාදිතයන් ගණන 16,836කි. ඉන් 16,593ක්ම මීට පෙර වඳුරු පැපොල රෝගය වාර්තා වී නොමැති රටවලින් හමුවූ ආසාදිතයෝය. දිගින් දිගටම වඳුරුපැපොල ආසාදිතයන් වර්තාවූ රටවලින් නව රෝගීන් 243ක්ද වාර්තා වී ඇත. ඒ අනුව බෙල්ජියම, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායෙලය, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ඉන්දියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, කටාර්, දකුණු අප්‍රිකාව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 75ක මේ වනවිට ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කොට ඇත. නව වඳුරු පැපොල වසංගතය ආරම්භ වීමෙන් පසු පුද්ගල මරණ වාර්තා වෙන්නේ අප්‍රිකාවෙන් පමණි. ඒ මරණ 05ක් වශයෙනි.



ඉන්දියාවේ කේරළයෙන් වඳුරු පැපොල ආසාදිතයන් තිදෙනකු සහ නවදිලියෙන් එක් ආසාදිතයකු හමුවට වී තිබේ. කේරළයෙන් වාර්ත වූ සියලුම ආසාදිතයන් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් ලෙසට හඳුනා ගෙන ඇත. එසේම දිල්ලියෙන් හමු වූ ආසාදිත පුද්ගලයා විදෙස් ගත වී නොමැති අතර ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේද යන්න ගැටලුවක් පවතී. කෙසේ නමුත් මේ වනවිට අපේ අසල්වැසියන් ඉන්දියාවේද වඳුරු පැපොල ව්‍යාප්තියක් සිදුවන බවට නිගමනය කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වඳුරු පැපොල රෝගය සඳහා ප්‍රතිවයිරසය ලෙස වසුරිය රෝගයට ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නතම ලබාදිය හැකිය. රෝග ලක්ෂණ ලෙස උණ තත්ත්වයට අමරාව සුදුපැහැති වතුර පිරුණු තරමක් විශාලම බුබුළු දදයක් ආකාරයට සිරුරේ සැම තැනම පැතිර යා හැකිය.

ඊට අමතරව හිසරදය, ඇගපත වේදනාව, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණද ඇතිවේ. රෝගයේ බීජෞෂණ සමය දින 07දින 14ත් අතර වේ. මෙය ළමයින්ට වැළඳුණහොත් තත්වය වඩාත් බරපතළ විය හැකිය. මේ දිනවලදී පෙර පාසල් සහ පාසල් ළමයින් අතර අත් පා මුඛ රෝගයද පැතිරී යයි. එයද වයිරස් රෝගයක් නිසා පැතිරීම දැඩිය. සුදු පැහැ වතුර පිරි බුබුළු සිරුර පුරාම හට ගැනීම රෝග දෙක්ම පොදු ලක්ෂණය වේ. එබැවින් රෝග විනිශ්චය නිවැරැදි වීමද අත්‍යවශ්‍ය වේ.

ද්විතීක බැස්ටීරියා ආසාදන තත්වයක්ද ඇති වුවහොත් උණ එමරතන තත්වය කල් අල්ලා පැවතීමට පුළුවන.

සිරුරේ මතු වූ ළප කැළැල් මැකී යාමට කලක් ගතවේ. සමේ විකෘතිතා පවා ඇති කරවීමට සමත් රෝගයකි. වඳුරු පැපොල රෝග ආසාදිතයකු මුහුණට මුහුණ ගැටීම, ආසාදිත පුද්ගලයකු වෙනත් පුද්ගලයකුගේ සමෙහි ස්පර්ගවීම මගින් වුවද රෝගය බෝවිය හැකියි. ඒ අනුව ආසාදිතයකු හා සෘජු ශාරීරික සම්බන්ධතා පැවැත්වීම, සමලිංගික ක්‍රියාකාරකම් හරහාද මෙම රෝගය වෙනත් පාර්ශව අතර දැඩිව ව්‍යාප්ත වීමේ ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන තිබේ.

තවද ආසාදිතයකු පෞද්ගලිකව පරිහරණය කළ දෑ ද වෙනත් පිරිස් අතර පරිහරණයේදී රෝගය තවත් පුද්ගලයන් කරා ඉක්මනින් පැතිරී යාමට හැකියි. තවද වයිරස් රෝගීන් හමුවූ රටවලට සංචාරය කිරීමත් එවන් රටවල සිට වෙනත් රටවලට පැමිණෙන සංචාරක පිරිස් නිසාද රෝගය පහසුවෙන්  සම්ප්‍රේෂණය විය හැකිය. එබැවින් විදෙස්ගතව සිට මෙරටට පැමිණි කවරකුට හෝ වඳුරු පැපොල රෝගය යැයි සැක සහිත ලක්ෂණ ඇත්නම් සුදුසුකම්ලත් වෙදවරයකු වෙතින් හෝ ළඟම ඇති රජයේ රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමුවන්න. එවීට තමන් ආසාදිතයකුද නැද්ද යන්න පී.සී.ආර්.  පරික්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට පුළුවන. ආසාදිත ලක්ෂණ ඇති පුද්ගලයන් සෙසු පිරිස් සමඟ එකට ගැටීමෙන් වැළකිය යුතුය.

වඳුරු පැපොල ආසාදිතයන් මෙතෙක් අපේ රටෙන් වාර්තා නොවුණද පසුගියදා ඉන්දියාවෙන් ආසාදිතයන් කිහිප දෙනෙක්ම හදුනා ගැනිණ. එය අපේ රටට ඇති අවදානම තවත් මතු කරවන්නකි. සාර්ථකව මර්දනය වෙමින් පැවැති කොවිඩ් රෝගය පවා මේ වනවිට නැවතත් නව ආසාදිතයන් විවිධ පෙදෙස්වලින් වාර්තා වෙමින් තිබේ. එවැනි අවස්ථාවකදී තවත් වසංගතයක් රට තුළ ව්‍යාප්ත වුවහොත් රටේ පවතින වාතාවරණයත් සමග ජනතාවට, සෞඛ්‍ය අංශවලට ඇති අභියෝගය සුළු පටු නොවේ. එබැවින් රෝගය පැතිරීමේ අවදානම් සාධක ගැන සියලුම දෙනා සැලකිලිමත් වීම අවශ්‍යම මොහොතකි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
සටහන - මාධවී ධර්මරත්න