mout-lavinia-shoot

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කුඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන පසුගියදා සිදුකළ වෙඩිතැබීමට ඔත්තු ලබා දී ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු සහ සැකකාරියක විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (20) රාත්‍රියේ දෙල්ගොඩ ප්‍රදේශයේ බෝඩිමක දී අත්අඩංගුවට ගනු ලැබු බව විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසිහත් හැවිරිදි දෙදරු පියකු බවත්, තිස්හත් හැවිරිදි සැකකාරිය ඔහුගේ අනියම් බිරිය බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා එදින වෙඩිතැබීමේ ඉලක්කය වූ හේමන්ත නමැති පුද්ගලයා මිතුරන් සේම,

එකම නඩුවේ විත්තිකරුවන් බවත් ඔහු අධිකරණයේ සිට වෙඩිතැබීමේ ඉලක්කය වූ පුද්ගලයාගේ සියලු තොරතුරු සහ ඇඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන් තොරතුරු වෙඩික්කරු වෙත ලබා දී ඇති බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. ඩුබායි වෙසෙන හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු වන ඔහු සමග දැනට ඩුබායි රජයේ සැගවී සිටින රුවන් ජයසේකර නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩිතැබීම සැලසුම් කර ඇති බවත්, සැකකරු ඔහුගේ අනියම් බිරිය සමග එක්ව ඝාතනයට අවශ්‍ය ඔත්තු ලබාදී ඇති බවත් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම වෙඩිතැබීමට මොහොතකට පෙර සැකකරුවන් ඩුබායි රජයේ වෙසෙන රුවන් ජයසේකර නමැති සැකකරු සමග ඉකුත් 4 වැනිදා ජංගම දුරකතනයෙන් වට්ස් අප් තාක්ෂණය හරහා ඇමතුම් ලබාගෙන ඇති බව ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

සිද්ධිය වූ අවස්ථාවේ දී එම සැකකරු කුඩා ජංගම දුරකතනයක් රැගෙන අධිකරණයට පැමිණ ඇති බවත්, ඔහුගේ අනියම් බිරිය අධිකරණය ඉදිරිපිට රැදී සිට ඇති බවත් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග සදහන් කරයි. සැකකරු අධිකරණය තුළ සිදුවන දෑ ඔහුගේ කුඩා ජංගම දුරකථනයෙන් ඇයට දැනුම් දුන් පසු ඇය එම තොරතුරු ඇයගේ ජංගම දුරකථනයෙන් ඩුබායිහි වෙසෙන සැකකරු වෙත ලබාදී ඇති බව ද පැවසේ. සැකකරු ලබා දුන් තොරතුරු අනුව, වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදුකළ ද එම ඉලක්කය වැරැදී ගොස් තිබිණි.

ගල්කිස්සේදී වෙඩිතැබීමට ලක්වූ හේමන්ත නමැති පුද්ගලයා සහ ඩුබායිහි වෙසෙන රුවන් ජයසේකර නමැති පුද්ගලයා අතර පැවැති පෞද්ගලික ආරවුල් කිහිපයක් මුල්කරගෙන ඔහු මෙම ඝාතන සැලසුම සකස් කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය තොරතුරු හෙළි කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ඩුබායි රාජ්‍යයේ සැකකරු සමඟ ලබාගත් ඇමතුම් රැසකම දුරකථන විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියට බාර දී ඇත.

-දිලංකා ගෝමස්-