mv-express-perl-sri-lanka

එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යැමෙන් නිකුත් වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.එම මුදලින් අදාළ ගෙවීම් කටයුතු පියවීම සඳහා රුපියල් 903,857,293ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වනවිට අනුමැතිය ලබා දී ඇති බවද ඇය ප්‍රකාශ කළාය.


එමෙන්ම මුහුදු පතුලේ ගිලී ඇති එස්පස් පල් නෞකාව ගොඩගැනීමේ කටයුතු නැව අයිති සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා තිබෙන බවත්,

එම චීන සමාගම පසුගිය කාලයේදී මෙරටට පැමිණ නැව ගොඩගැනීමේ මූලික කටයුතු ආරම්භ කළ බවද ඇය කීවාය.එහෙත් වාරකන් කාලයේදී මුහුද රළු වීම හේතුවෙන් නැව ගොඩගැනීමේ කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙන බවත්, මෙම වසරේ නොවැම්බර් මාසයේදී එම කටයුතු නැවත ආරම්භ කරන බවත් ඇය සඳහන් කළාය. එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය ගණනය කර සකස් කළ පළමු අතුරු වාර්තාව නෞකා අනතුරු වන්දි ලබාගැනීම පිළිබඳ විශේෂඥතාවක් සහිත ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බවද එම මහත්මිය පැවසුවාය.

එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව ඉදිරී නීතිමය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය. සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍රා කරමින් තිබූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 09ක් දුරින් නැංගුරම්ලා තිබීයදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර ජුනි මස 02 වැනිදා මුහුදුබත් විය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍රික් අම්ල හේතුවෙන් මෙම ගිනිගැනීම සිදුවූ අතර, නැව මුහුදුබත් වීමට පෙර ඇති වූ පිපිර්මක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි. මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ස්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරිද දක්වා වූ කිලෝමීටර 746ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

( නවෝද්‍යා පවනි)