new-water-tafiff-efective-time

ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තුව සැප්තැම්බර් 02 වැනිදා සිට පාරීභෝගිකයන්ට ලබාදෙන ජල බිල්පත් සඳහා ගණනය කරනවාද නැතහොත් ඔක්තෝබර් 01 වැනිදා සිට පාරිභෝගික ජනතාවට ලබාදෙන ජල බිල්පතේ සිට ගණනය කරනවාද යන්න පිළිබඳ අද (29දා) තීරණයක් ගන්නා බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ජල බිල්පත් ඉහළ දැමීම සඳහා හා මළඅපවාහන ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙන්නේ මෙම මස O8වැනි දින බවත්, අදාළ ගාස්තු ඉහළ යාම ලබන මස 01 වැනිදා සිට සිදුවන අයුරින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පත්මනාථ මහතා සඳහන් කළේය.

අවසන් වරට ජල ගාස්තු හා මලඅපවහන ගාස්තු ඉහළ දමා තිබෙන්නේ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී බවත්, ජල ගාස්තු සංශෝධනයේදී ගෘහස්ථ හා ගෘහස්ථ නොවන යන කාණ්ඩ දෙකක් සලකා බලන බවත්, සමසත් ජල පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 28ක් බවත් ඒ මහතා පවසා සිටියේය. මේ අනුව මෙම ප්‍රමාණයෙන් ගෘහස්ථ පාරිභෝගිකයන් ප්‍රමාණය 92% ක් බවත්, ඉතිරි 08%ක ප්‍රමාණය ගැහස්ථ නොවන පාරිභෝගිකයන් බවත් හෙතෙම සඳහන් කළේය.

ගෘහස්ථ පාරිභෝගික සම්බන්ධතා සලකා බැලීමේදී සාමාන්‍ය ජල සම්බන්ධතා, සමෘද්ධිලාභීන්ගේ ජල සම්බන්ධතා සහ වතු ජනතාවට අදාළ ජල සම්බන්ධතා වශයෙන් කාණ්ඩ කර තිඛෙන බවද පියල් පත්මනාථ මහතා සඳහන් කළේය. මෙම සියලුම කාණ්ඩවලින් බිල්පත් අයකර ගැනීමේදී ජලය භාවිත කිරීම වෙනුවෙන් ජල ලීටර් 1,000ක් වශයෙන් ගණනය කර එක් ඒකකයක් සඳහා මුදල් අය කළ බවත්, මීට අමතරව සේවා ගාස්තුවක් අයකර ගත් බවත් ඒ මහතා පවසා සිටියේය. මේ අනුව රුපියල් 50, 60, 80 සහ 100 වශයෙන් අය කර ගත් සේවා ගාස්තුව රුපියල් 300ක් බවට පත් කර තිබෙන බවත්, මීට අමතරව 0 සිට 05 දක්වා එක් ජල ඒකකයක් වෙනුවෙන් අය කළ රුපියල් 12 ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. මීට අමතරව රුපියල් 16ක් අයකර ගත් ඒකකයක නව ගාස්තුව රුපියල් 27ක් දක්වාත්,

රුපියල් 20ක් අයකර ගත් ඒකකයක ගාස්තුව රුපියල් 34ක් දක්වාත් වශයෙන් පොදුවේ ජල ඒකකයකට අයකර ගත් ගාස්තුව 70%කින් පමණ ඉහළ යන බවද පියල් පත්මනාථ මහතා පවසා සිටියේය.

ආගමික ස්ථාන, වතු ජනතාව හා සමෘද්ධිලාභීන් විසින් හා පාසල්වල භාවිත කරන ජලය වෙනුවෙන් අයකරන ගාස්තුව කිසිදු ලෙසකින් ඉහළ දමා නොමැති බවත්, එහෙත් සමෘද්ධිලාභීන්ගෙන් අයකර ගත් රුපියල් 50 සේවා ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමා තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේ. වතු ජනතාවගෙන් අයකරගත් රුපියල් 50 සිට රුපියල් 80 දක්වා සේවා ගාස්තුව රුපියල් 100 දක්වා වැඩිකර ඇති බවත්, රුපියල් 100ට පවතින සේවා ගාස්තුව එලෙසම පවතින බවත්, ආගමික ස්ථාන හා පාසල්වල සේවා ගාස්තු ඉහළ යාමක් සිදුනොවන බවත් හෙතෙම පවසා සිටියේය.

මළ අපද්‍රව්‍ය නළ පද්ධතියට එකතු කිරීම වෙනුවෙන් ලීටර් 1,000ක් වෙනුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයෙකුගෙන් අය කළ රුපියලේ මුදල සත 50කින් ඉහළ යන බවත්, මේ අනුව නව මිල රුපියල් 01යි සත 50ක මුදලක් බවත්,මීට අමතරව රුපියල් 200 සේවා ගාස්තුවක් අය කළ බවත් පියල් පන්නනාථ මහතා සඳහන් කළේය. කාණ්ඩ කිහිපයක් යටතේ මේ සඳහාත් අයකිරීම සිදු කළ බවත්, මේ අනුව රුපියල් 10ක් අය කළ ඒකකයක් වෙනුවෙන් අලුතින් රුපියල් 3.50ක මුදලක් අයකරන බවත්, මේ අනුව එම ඒකකයක මිල රුපියල් 13.50ක් බවට පත් වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.


( ඉන්දික විතාරණ)