nilwala-river-4-deaths

මාතර, අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශයේදී නිල්වලා ගගේ නාමින් සිටියදී පැමිණි කණ්ඩායමෙන් හතර දෙනකු සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වූ සිදුවීමක් පසුගියදා වාර්තා විය.
ඉන් තුන්දෙනෙකුගේ මළ සිරුරු පෙරේදා 27 වැනිදා පස්වරුව වනවිට සොයාගත් අතර අනෙක් පුද්ගලයා සොයා තවම මෙහෙයුම් සිදුවේ.
අකුරැස්ස, පෝරතොට පදිංචි මලිත උදයංග (අවු 24) හා වැලිගම, බටවල පදිංචි ජයසංක සිරිවර්ධන (අවු 22) ගේ දේහයන් ගං පතුලේ තිබී ගාල්ල දක්ෂිණ නාවික හමුදා කිමිදුම්කරුවන් පෙරේදා පෙරවරුවේ සොයා ගනු ලැබූ බවත් ඔක්සිජන් හා භූමිතෙල් නිමාවීමෙන් ඔවුන් මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.


 එහෙත් පිටබැද්දර පොලිස් ස්ථානාධිපතිවරයා ගම්වාසීන් සහ ප්‍රාදේශීය සභාව සම්බන්ධ කරගනිමින් මෙහෙයුම තවදුරටත් පවත්වාගෙන යාමට සූදානම් කළේය. ඒ අනුව අහංගම මිදිගම පදිංචි සසික දිශාන්ගේ (අවු 24) දේහය පොලීසිය ප්‍රාදේශීය සභාව හා ගම්වාසීන්ගේ සහායෙන් ගොඩ ගැනීමට හැකි වූ බව පිටබැද්දර පොලිස් ස්ථානාධිපති සුරංග ජයතුංග මහතා කීය. එසේ මියගිය සසික දිශාන් අවුරුදු දෙකහමාරක සිගිත්තියකගේ පියෙකි. තවදුරටත් අතුරුදන්ව සිටින දෙයියන්දර, සීනිපැල්ල නැගෙනහිර පදිංචි මනුෂ්ක යොහාන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට ගම්වාසීන් හා කිමිදුම්කරුවන්ට නොහැකි වූ බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සැලවී පැය ගණනාවකට පසු මනුෂ්කගේ පෙම්වතිය වූ අශානි හංසිකා (අවු 20) ඇගේ නිවස අසල කිරම ආරේ රංසෑගොඩ ගඟට පැන දිවි නසාගෙන ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි. ඇය මියයන විට පෞද්ගලික හෙදියක ලෙස පුහුණුව ලබමින් සිට ඇතැයිද කියයි. මෙම තරුණියගේ මියයාම සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලීසිය විමර්ශන සිදුකරයි.



වාර්තාවන ආකාරයට මොවුන් නිල්වලා ගංගාවේ පිටබැද්දර, දෙහිගස්ස ප්‍රදේශයේ දිය නෑමට ත්‍රිරෝද රථ තුනකින් යාමට පෙර මියගිය මලිත උදයංගගේ නිවෙසක යම් සාදයක් සංවිධානය කොට තිබී ඇත. ඒ සඳහා සූදානම් කරගත් පරිදි මිදිගම ටයර් ආශ්‍රිත පෞද්ගලික කම්හලේ සේවකයන් හා මිතුරන් 13 දෙනකු අකුරැස්ස, පෝරතොට මලිතගේ නිවෙසට පැමිණ ඇත්තේ රැකියාවේ නිවාඩු දිනයක් වූ බැවිණි. ඒ අනුව 26 වැනිදා පෙරවරුවේ සාදයට සහභාගී වී සාදය අවසානයේ පිරිස හඩනකට ඇල්ලට ගොස් දියනා විනෝදාස්වාදයක් ලැබීමට යෝජනා කර ඇතැයි පොලීසියට ඔවුන් ලබාදුන් ප්‍රකාශවල සඳහන්ය.

ඒ අනුව සවස දිය නෑමට ගොස් සැඩපහරට හසුව මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදීමට සිදුව තිබේ. දිය නාමින් සිටියදී ජලමට්ටම වැඩි වී එක්වරම මෙම කණ්ඩායමේ අයකු සැඩපහරට හසුව ගසා ගෙන යද්දී ඔහු බේරා ගැනීමට කණ්ඩායමේ දෙදෙනකු  උත්සාහ ගැනීමත් සමග ඔවුන්ද ගසා ගෙන ගොස් තිබුණි. ඒ සමගම තවත් දෙදෙනකු ඔවුන් තිදෙනා බේරාගැනීමට සැඩපහරට පැනීමත් සමග ඔවුන්ද ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබුණි.

ඉන් අයෙකු එගොඩට පිහිනා ගොස් ගසක එල්ලී දිවි බේරා ගෙන ඇති බවත් ගම්වාසීන්ගේ සහායෙන් ඔහු කඹ ආධාරයෙන් මෙගොඩට රැගෙන විත් තිබෙන බවත් පොලිසිය කියයි.

මියගිය තරුණිය ඇතුළු 4 දෙනාගේ මෘත ශරීර මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.