පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා හා මර්දන නවත්වන ලෙස ඉල්ලා හෙට (09දා) දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව හෙට දිවයිනම ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවත්, මෙම විරෝධතා ව්‍යාපාරවලින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් එම මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. ද
ේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධව සිදුකරන මෙම ක්‍රියාමාර්ගය සඳහා සහාය දැක්වීමට හෙට සෑම නිවසකම කළු කොඩියක් ඔසවා විරෝධය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය. එදින දිවයිනම ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව සෑම වැඩබිමක් ඉදිරිපිට හා ආයතන ඉදිරිපිට සහා ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බවත් වසඟ සමරසිංහ මහතා පැවසීය.
මෙම විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන විරෝධතාව කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වෙන බවත්, ඉන් පසුව එම ස්ථානයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පෙළපාළියක් පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම පෙළපාළියෙන් පසු නිදහස් චතුරස්‍රය තුළදී පුරවැසි ප්‍රකාශයක් සිදුකිරීමටත් කටයුතු කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වුයේ, පවතින අර්බුදයට විසඳුම් ලබාදෙන බවට වූවත්, සිදුකරමින් සිටින්නේ රාජපක්ෂවරුන් සමග ගමනක් යාම බවත් වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.මේ නිසා මර්දනය නවතා දමා අලුත් ජනවරමක් ඇති කර ගැනීමට මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගත යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
( එම්.අයි. තුෂාර)
0 Comments