උද්ගතව ඇති ඉන්ධන හිඟය මධ්‍යයේ එය කළමනාකරණයට පිළියම ලෙස යොදා ඇත්තේ QR කේත ක්‍රමය සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.
QR කේත ක්‍රමය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අපි සිදු කරනවා. මෝටර් රථ සඳහා වන පෝලිම්වල විශේෂ අඩුවක් නැතත් දැන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පෝලිම්වල අඩුවක් දක්නට ලැබෙනවා. ඒ නිසා කලබලකාරී තත්ත්වයෙත් අඩුවක් තියෙනවා.
ත්‍රිරෝද රථ සහ යතුරුපැදි අඩු වුණා කියන්න හේතුවක් තියෙනවා. QR කේත ක්‍රමය නිසා එකම වාහනයට එකම දවසේ දෙවතාවක් ඉන්ධන ලබා ගන්න හැකියාවක් නැහැ .සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථ රියදුරන් දවසට දෙතුන් වතාවක් ඉන්ධන ලබාගන්නවා. ඒක තෙල් බානවා කියන තැනට ලඝු කරන්න බැහැ. ඔවුන්ගේ වෘත්තිය අනුව ඒ විදිහට කරන්න සිද්ධ වෙනවා. ඉන්ධන හිඟය ඇති වීමට පෙරත් ඔවුන් දවසකට දෙතුන් වරක් තෙල් ගහනවා. ඉන්ධන පිරවුම්හලකට මූලික වශයෙන් වැඩි ආදායමක් ලැබෙන්නේ ත්‍රිරෝද රථ නිසා කියලා අපි හඳුනාගෙන තියෙනවා.
QR කේතය හඳුන්වාදීමත් සමඟ එලෙස දවසට දෙතුන් වතාවක් ඉන්ධන ලබාගැනීමට හැකියාවක් නැහැ.
QR කේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මේ වන තුරු නම් තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් වාර්තා වුණේ ඉතාමත් අඩු වශයෙන්. මේ ක්‍රමය හඳුන්වා දීමට දින තුනකට පමණ පෙර සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ එකතු වෙලා බොහෝ ඉන්ධනහල් වලදී පෙර පුහුණුවීමක් කළා. එවැනි පුහුණුවීම් වලින් පසුව තමයි මේ ක්‍රමය ක්‍රියාවට නැංවූයේ. ඒ නිසා දැනට තාක්ෂණික දෝෂ පිළිබඳව වාර්තා වෙන්නේ නැහැ.
QR කේතය හඳුන්වා දීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් අසල වෙනදා නොතිබුණ සාමකාමී ස්වරූපයක් පැහැදිළිව පෙනෙනවා. QR කේතයට අනුව ඉන්ධන නිකුත් කරන නිසා වාහනයේ තොරතුරු වගේම නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයත් නිසි ආකාරයෙන් සටහන් වෙනවා.ඒ නිසා කවුරුත් ගැටුමක් ඇති කර ගන්න උත්සාහ කරන්නේ නෑ.දිගු පෝලිම් තිබුණට පාරිභෝගිකයන්ට වැඩි වෙලාවක් පෝලිම්වල රැඳී ඉන්න උවමනාවකුත් නෑ. පෝලිම පෙරට යෑමත් ඉක්මන් වෙලා.
ලබාදෙන ඉන්ධන ප්‍රමාණයන් ප්‍රමාණවත් නැහැ කියලා ඇතැම් පාර්ශ්ව සමහර අවස්ථාවලදී කියනවා. ඇතැම් බස් වලින් එහෙම වැඩිපුර ඉන්ධන ඉල්ලනවා. පුද්ගලික බස් රථ සඳහාත් ඉන්ධන නිකුත් කරන්නේ ඩිපෝ මගින් කියලා අපිව දැනුම්වත් කරලා තියෙනවා.ඒ නිසා නියමිත ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලා සිටින අවස්ථාවලදී ක්‍රමවේදය තේරුම් කරවලා ඔවුන් ආපසු හරවා යවන්න අපි කටයුතු කරනවා.ඒ නිසා ලොකු ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. ඒත් ත්‍රිරෝද රථ රැකියාව කරන අයගේ පැත්තෙන් නම් ඇත්තටම ගැටලුවක් තිබෙන බව පේනවා. හයර් දුවල පවුලක් ජීවත් කරවන කෙනෙක්ට තෙල් ලීටර 5ක් ගහලා කොහොමද ඒ කටයුත්ත කරන්නේ කියන එක ගැන සංවේදීව හිතන්න වෙනවා. ඒ වගේම යතුරුපැදිවලටත් ඒ ප්රශ්නය තිබෙනවා. සමහර යතුරුපැදි වර්ග සහ සමහර යතුරුපැදිකරුවන්ගේ ගමනාන්තයට ඇති දුර අනුව මේ ලැබෙන තෙල් කෝටාව කිසිසේත් ප්‍රමාණවත් නැහැ කියලා ඔවුන් කියන කථාවේ සාධාරණයක් තිබෙනවා.
QR කේත ක්‍රමය හඳුන්වා දීමට පෙර පොම්පකරුවන් අතයටින් මුදලට ඉන්ධන දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.නමුත් QR කේත ක්‍රමයට අනුව ඉන්ධන ලබා දීම නිසා එවැනි ක්‍රියාවන් සඳහා තිබුණ ඉඩත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. QR කේත ක්‍රමය හඳුන්වා දීමට පෙර ඉන්ධන ලබා දීමේදී පොම්පකරුවන් තමන්ට අවශ්‍යය පරිදි එනම් ඉන්ධන ලබා දීමේ සිදුවීම් වාර්තා වුණත් , ඉන්ධන පිරවුම්හල් අයිතිකරුවන්ට හෝ කළමනාකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට අපහසුතා තිබුණා.
ලබා දෙන 6600ක ඉන්ධන ප්‍රමාණයෙන් කොයි තරම් ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද කියලා අපි පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කළ යුතුයි.ඒ සම්බන්ධයෙන් අපි පොම්පකරුවන්ව දැනුවත් කරලා තියෙනවා .ඒ වගේම එවැනි අක්‍රමිකතා අවම කිරීම සඳහා බොහෝ අවස්ථාවලදී අපිත් අධීක්ෂණයක් කරනවා.
ඉන්ධන පිරවුම්හල් අසලට හමුදාව අවශ්‍යමයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ කටයුත්තේ දී පොලිසිය විශාල රාජකාරියක් ඉටු කරනවා.ඔවුන්ගේ කැපවීම නිසා සාමකාමීව ඉන්ධන නිකුත් කිරීමට හැකි වෙනවා.පොලිසියේ සේවය තවදුරටත් අපිට අත්‍යවශ්‍යයි. සියලුම ක්‍රියාකාරකම් නිවැරැදි ලෙස සිදු වුණත් පෝලිම් පැනීම ගැටලු සහගත තත්ත්වයන් තවමත් ඇති වෙනවා. එවැනි තත්ත්වයන් නියාමනය කරලා ,පෝලිම් නිවැරදි ආකාරයෙන් සකස් කරලා ඉන්ධන නිකුත් කිරීමට පොලිසියේ සහයෝගය අපිට තවදුරටත් අවශ්‍යය වෙනවා.
(සටහන - ඉන්ද්‍රජිත් සුබසිංහ - අරුණ)
0 Comments