නිවසට යාමට පෙට්‍රල් බිඳක් වත් නැතැයි කෑ ගසමින් බණ්ඩාරගම ඉන්ධන හලක් අසල කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු පැදවූ යතුරුපැදිය පරික්ෂා කිරීමේ දී අසුන යට කොටසේ බෝතල් හතරක බහා තිබූ පෙටල් ලීටර් හතරහමාරක්, පෙට්‍රල් ඇදීමට යොදා ගන්නා ප්ලාස්ටික් බටයක් හා ප්ලාස්ටික් බෝතලයකින් පුනීලයක් ආකාරයෙන් තනන ලද උපකරණයක් ද පොලීසිය බාරයට ගෙන ඇත.
බණ්ඩාරගම සමුපාකාර ඉන්ධනහලට පෙරේදා 30 පෙට්‍රල් තොග ලැබීමෙන් අනතුරුව රාත්‍රී වන තුරු ඒවා පාරිභෝගිකයන් වෙත බෙදා හැර ඇති අතර රාත්‍රී දහය පමණ වන විට ඉන්ධන තොග අවසන් බවට දැනුම් දීමත් සැකකරු ඇතුළු තවත් කීප දෙනකු සේවකයන්ට මෙන්ම කළමනාකරුට ද, බැන වැදී භූගත ඉන්ධන ටැංකි ද පෙන්වන ලෙසට පැවසූ බව පොලිසිය කියයි. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම සැකකාර පුද්ගලයා නිලධාරීන්ට බැණ වැදී තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය. රාත්‍රී ජංගම මුර සංචාරක රථය එම ස්ථානයට පැමිණ සැකකරු හා ඔහු පදවාගෙන පැමිණි යතුරු පැදිය ද පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවේ දී අදාළ ඉන්ධන යතුරු පැදියේ අසුන යට තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සැකකරු වයස අවුරුදු 35 ක් පමණ වන බණ්ඩාරගම රයිගම පදිංචිකරුවෙකි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments