ranjan-cat-fish

ජනපති සමාව ලැබ නිදහස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩුදී තිබේ. ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දන්වා සිටියේය.


මෙම ප්‍රතිචාරයට හේතුවූයේ රන්ජන් සිරෙන් නිදහස ලැබූ පසු බන්ධනාගාර කෑම වේල දැඩි විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශයකි.
එම ප්‍රකාශය මෙසේය.
“හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවත්ත්වලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු එක අරන් එද්දී පණුවෝ වැටෙනවා.  පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ තමයි හදන්නේ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.



පාලිත තෙවරප්පෙරුම කිව්වා කළුතර දිගටම වාට්ටු 6ක් තිබුණා. පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු 4කට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේක උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතරම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වාම වමනේ දාල තිබුණා.

බිත්තර ගද්දී බොහොමයක් බිත්තර ඇතුළ කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වණ වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතනවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්නම ඕනා. ඒ කියන්නේ කන්නම බෑ. පෙළක් අය කන්නේම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසිම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”




ඊයේ (අගෝ. 30) පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මීට පිළිතුරු ලෙස මෙසේ පැවසීය.

“මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකක්වත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ,. බන්ධනාගාර තුළ ආහාර පිසින පිරිසේ සනීපාරක්ෂාව ද ඉතා හොඳින් පවතිනවා. පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමග ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු වන්නෙ නැහැ. වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් පැමිණ යනවා මේ දක්වා එවැනි ගැටලුවක් පැන නැගී නැහැ.
එවැනි ගැටලුවක් තිබුණහොත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට, ප්‍රධාන ජෙලර්වරයාට හෝ බලධාරීන් දැනුවත් කළ හැකියි. එසේ කර නැහැ.
 රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගතව සිටි වසර එකහමාරක කාලය තුළ ආහාරවල තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට පැමිණිලි කරලත් නැහැ.
බන්ධනාගාර ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයුම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා සිදු කරනවා. එම ආයතනවලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව දිනපතා සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වී  සිටිනවා.


ඒ අනුව, අදාළ සැපයුම්කරුවන් දිනපතා සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගැනීමට ප්‍රථම නියමිත ප්‍රමිතීන්ට හා ප්‍රමාණයන්ට අනුකූලව සපපයා තිබේද යන්න පරීක්ෂා කිරීම නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. මහජන පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන්ද අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කිරීම් සිදු කරනු ලබනවා.
ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය හඳුනා ගතහොත් ප්‍රතික්ෂේප කිරීම සිදු කරන්නට හැකියාව තිබෙනවා..
සැපයුම්කරුවන් මුළුතැන්ගෙට භාර දීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරීමේ සිට ආහාර පිසීම අවසන් කර රැඳිවියන් අතරේ බෙදාහැර අවසන් කරන තුරු සියලු කටයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු වෙනවා.ආහාර පිසීමට යොදාගන්නෙ කෙටි කාලීන සිරදඩුවම් වලට ලක්වූ අය තමා. ඒ අයට ඒප්‍රන් ඇතුළු පිරිසිදුව සිටීමට අවශ්‍ය සියලු දේ සලසලා තමා වැඩ ගන්නේ “