ranjan-free-media

ජනපති සමාව ලබා අද (26) බන්ධනාගරයෙන් පිටව ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේය.
එහිදී මාධ්‍ය ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් තමා සිරගතව සිටි කාලයේ අත්දැකීම් කෙටියෙන් විස්තර කරන්නටත් ඉදිරි බලාපොරොත්තු ගැනත් විස්තර කළේය.


තමාට තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබුණ නිවස බවත් මෙම දඩුවමින් මන්ත්‍රී ධූරය අහෝසිවීම නිසා එම නිවස නැතිව ගිය බවත් රන්ජන් විස්තර කළේය. කෙසේ වෙතත් විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් මේ වනවිට තමාට ගෙවල් 09 ක් නොමිලයේ ලැබී ඇති බවත් පිටකෝට්ටේ කිත්සිරි මහතා ලබාදුන් නිවසට අද දින පදිංචියට යන බවත් තමා මින් ඉහත පදිංචිව සිටි නිවසටත් අවශ්‍ය නම් ඉදිරියේදී යාමට හැකිබවත් පැවසීය. එම නිවස මනුෂ නානායක්කාරට මේ වනවිට හිමිව ඇති මුත් ඔහු පාවිච්චි නොකරන බවත් මනුෂගේ ලේකම් ලෙස කටයුතු කරන තම පෙර ලේකම්වරයාගේ පරිහරණය සලකා තමාට එම නිවසටද යළි යාහැකි බව මතක් කළේය.
නිදහසින් පසු තමා කරන්නේ කුමක්දැයි කළ විමසීමට පිළිතුරු දුන් රන්ජන් කියා සිටියේ තමා එළියේ සිට මීට වඩා සටනක් ලබාදෙන බවත් ජනතාව ලබාදුන් ආදරය කවදාවත් නැති කරගන්නේ නැති බවත් කොමිස් ගන්න සොරකම් නොකරන බවත් කීය.


රාජපක්ෂලාගේ කලාපයට අයත් අගුණුකොලපැලැස්ස සිරමැදිරියට තමාව යොමු කළ පසුව අතිශය දුක්සහිත සිර ජීවිතයක් ලාබදුන් බව රන්ජන් කීය.ජේලර්ලාට වරින්වර දුරකථන ඇමතුම් ලබාදෙමින් දේශපාලකයින් තමා වැසිකිලි අසල කාමරයට යොමු කරන ලෙසත්, බිම නිදාගන්න අරින ලෙසත් දන්වමින් විවිධ වද දුන් බව රන්ජන් කීය.
එම ජේලර්වරුන් අතර වැඩි දෙනා රාජපක්ෂලා නිසා රස්සාවට ආ අය හෝ පොහොට්ටුවට සමීප අය වූ බැවින් මෙම කරදර ලැබුණ බව කීවේය.
කෙසේ වෙතත් තමන්ට ලැබුණ හිරිහැර ක්‍රමයෙන් අඩුවූ බවත් තමා කලාකරුවෙකු ලෙස සමීපව පිරිස් ඇසුරුකර හිතවත්ව තමන්ට ලැබුණ කරදරකාරී ජීවිතය ලිහිල් කරගත් බවද කීය.
හිරගෙදර කතාව වෙනම මාධ්‍ය හමුවකදී පවසන බවත් පොතක් ලියන බවත් කීය.