ranjan-free

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහි අධිකරණ අපහාස නඩුවේ වසර 4 ක සිර දඩුවමින් වසර එකහමාරකට පසු ජනපති සමාව යටතේ අද පස්වරු 2.45 ට පමණ නිදහස ලැබූ අතර ඒ ආරංචිය ලැබී පස්වරු 12 පමණ සිට ඔහුගේ හිතවතුන්,කලාකරුවන් හා මාධ්‍ය කන්ඩායම් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී ඔහු පැමිණෙනතුරු බලා සිටියහ.
අනතුරුව රන්ජන් බන්ධනාගාරයෙන් එලියට ආවේ විපක්ෂ නායක ඇතුළු පිරිසක් සමගිනි.
අද නිදහස ලද රන්ජන් රාමනායක ඉන්පසු කුමක් කරාවිද යන්න ගැන මේ වනවිට දේශපාලන ලෝකයේ විවිධ ආරංචි මතුකර තිබේ.
අද උදෑසන රන්ජන් බලන්නට වැලිකඩට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුනේ රන්ජන් රාමනායකට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ආසනයක් ලබාදීමට උත්සාහ කරන බවත් දැනට ජාතික ලැයිස්තුවේ සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකීර් මාකර්, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයගෙන් එක් අයෙකු ඉවත්වන්නට කැමැත්ත පළ කළ විගස  එම අවස්ථාව දෙන බවයි.


මේ අතර රන්ජන් සමග සමීප දේශපාලනයක නිරතවන හා ඔහු නිදහස් කිරීමට වෙහෙස ගත් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විදේශගත ශ්‍රමිකයන්ගේ ‘සුහද තානාපති‘ ලෙස රන්ජන් පත් කරන්නට කැමති බව දක්වමින් අද දහවල් නිවේදනයක්ද පළ කළේය.
විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමික සුබසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන රන්ජන් රාමනායක සුහද තානාපතිවරයෙකු ලෙස පත් කරන බවත් ඔහුට ලියූ ලිපියේ දැක්වේ.
මීට ඉහත කාලයේත් මැදපෙරදිග ශ්‍රමිකයින් සම්බන්ධ වැඩවලට රන්ජන් සම්බන්ධ විය.