ridgway-dollers

ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා ඩොලර් සොයා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි. විදේශයන්හි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙනම වාට්ටුවක් ඇති කිරිම ඩොලර් සොයාගත හැකි හොදම මාර්ගයක් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙයට අමතරව විදේශයන්හි රෝගී දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙනම රෝහලක් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ ඇති කිරීම හෝ දිවයින්නේ සෙසු රෝහල්වල වෙනම වාට්ටු හා පහසුකම් ඇති කිරිමෙන්ද ඩොලර් සොයා ගැනීමට මග පෑදෙන බව ඔහු සඳහන් කළේය.

වෛද්‍ය සහ අධ්‍යාපනික කටයුතු සඳහා විදේශීය රටවලට මෙරට ශිෂ්‍යයන් ඇදී යෑම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමෙන්ද ඩොලර් ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පැවැසු දීපාල් පෙරේරා මහතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙරට පහසුකම් වැඩි කිරීමද තවත් විසඳුමක් බව පෙන්වා දුන්නේය.

මෙයට අමතරව විදේශීය ශිෂ්‍යයන් සදහා මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හෝ දේශීය විශ්වවිද්‍යාලවල විදේශීය ශිෂ්‍යයන් සදහා වෙනම අංශ පිහිටුවීම මගින්ද ඩොලර් සැලකිය යුතු ප්‍රමාණයක් උපයා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.  එසේම මෙරටට අවශ්‍ය කෙරෙන යම් යම් වෛද්‍ය උපකරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට ව්‍යවසායකයන් දිරිමත් කිරීමද ඩොලර් ඉතිරි කර ගැනීමට තවත් හොඳම මාර්ගයක් බව හෙතෙම සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ