අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව නීතිඥවරයෙකු විසින් තවත් පෙත්සමක් අභියාචනාධිකරණයට ඊයේ (30) ගොනු කළේය.
චෝදනා පත්‍රයක් ගොනු කොට මන්ත්රිවරයාගේන් දඬුවම් නොකිරීමට හේතු විමසා අදාළ චෝදනාවලට නිසි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් එම නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥවරයෙකු වන අයි.ජී. විජිත කුමාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අතර එහි සැකකරුවකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත නම් කර ඇති බවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සමේ සඳහන් වේ.
එසේ තිබිය දී ඉකුත් 23 වන දා පොදුජන එක්සත් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත මන්ත්‍රිවරයා "අරගලකරුවන්ට" මහෙස්ත්‍රාත්වරු විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකොට ඇතැයි ද පෙත්සමෙන් චෝදනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත පෙරේරා විසින් අධිකරණයට බලපෑමක් වන අයුරින් මාධ්‍ය හමුවේ කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30 වැනිදා) නියෝග කළේය.
(ඉෂාර රත්නකාර, කේ.එස්. උදයකූමාර)
0 Comments