ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දී ඊයේ(29) පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් කෙටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්රදානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සියයට 49ක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බව ඇමැතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දුව කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවද හෙතෙම කීවේය.
ඩොලර් හිගය සහ ආර්ථික අර්බුදය අනුව විශාල වශයෙන් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කර රැකියා සුරක්ෂිත කිරීමට රජය බැඳී සිටින බවත් අමාත්‍යවරයා කීවේය. ශ්‍රී ලංකන් ආයතනය ගෙවීමට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 105ක් රුපියල් කෝටි 40,100ක් පමණ වන බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකන් කොක්ටරින් සමාගම පසුගිය වසර 10 තුළ රුපියල් කෝටි 2ක් පමණ සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් රුපියල් කෝටි 01ක ලාභයක් ඉපැයූ බවද අමාත්‍යවරයා කීවේය. ශ්‍රී ලංකා කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් ලාභයක් ඉපයුවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමස්තයක් වශයෙන් සෑම වර්ෂයකම දැඩි පාඩුවක් ලබන බව ඔහු පැවසීය. ඒ අනුව පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ සමස්ත පාඩුව රුපියල් කෝටි 16,473ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදය හා ඩෙලර් හිගය මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මුදල් ලබාදීමට රජයට තවදුරටත් හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ රජයට වැඩිම වාසි ලබා ගැනීමට හැකි කණ්ඩායම තෝරා ගැනෙන බවත්,
ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන මුදල් වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණය බරින් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. ඒ සඳහා පාරදෘශ්‍යභාවයකින් යුතු ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් කැබිනට් මණ්ඩලය පත් කරන කමිටුවක් හා තාක්ෂණිෂක කමිටුවක් මගින් ඒ සම්බන්ධයෙන් වන තීන්දු ගන්නා බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය, වෘත්තීය සමිති ඇතුළු ක්ෂේත්රයේ විද්වතුන් සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව හෙතෙම කීවේය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පරම අයිතිය ඇති ගුවන් යානා කිසිවක් දැනට නොමැති අතර, බද්දට ලබා ගන්නා ලද ගුවන් යානාවලින් සිය ගුවන් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලංකන් ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ සිට ගමනාන්ත 37 ක් සදහා රටවල් 23 ක් ආවරණය කරමින් ගුවන් ගමන් සිදුකරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
නිමල කොඩිතුවක්කු
0 Comments