student-death

පාසලේ පන්ති කාමරය තුළ වාඩිවීමට මේසයක් හා පුටුවක් නොමැතිවිම සහ මව හා පුතු සිය පියා නොසලකා හැර ඇති නිසා සිත්තැවුලට පත්ව සිටි බව කියන බාලවයස්කාර සිසුවෙකු නිවසේ එල්ලී පෙරේදා (22) රාත්‍රියේ මිය ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ  සියඹලාගොල්ල නාමල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි එස්. සුරාජ් ඩේරියන්ස් නමැති සිසුවෙකි. මෙම සිසුවා ජාඇලට නුදුරු පාසලක 9 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. සිසුවාගේ පියා මවගෙන් නීතියෙන් වෙන්ව ඩුබායි රටේ ජීවත් වන අතර පසුව මව වෙනත් විවාහයක් කරගෙන ඇතැයි පොලීසිය කියයි.



වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා පසුගිය මාර්තු මාසයේදී ජාඇල ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ඇත.  සිසුන් සියලු දෙනා පන්තියට පැමිණෙන දිනවල ඔහුට වාඩිවීමට පුටුවක් හා මේසයක් නොමැතිවන නිසා ඒ ගැන සිත්තැවුලට පත්ව සතියක කාලයක් පාසල් යාමෙන් වැළකීසිටි බව කියන මෙම සිසුවාට මව සමග පාසලට එන ලෙස  විදුහල්පතිවරයා දැනුම්දීමක්ද කර තිබී ඇතැයි පොලිසිය කියයි.  පුතාට අවශ්‍ය කර තිබූ පුටුවක් හා මේසයක් ලබා ගැනීමට පාසලට මුදල් ගෙවා තිබූ බව සිසුවාගේ මව පොලිසියට පවසා ඇතැයි ද කියති.



තමාට හා පුතාට සැමියා නොසලකා හැරීම සහ පන්ති කාමරයේ වාඩිවීමට පුටුවක් හා මේසයක් නොමැතිවීම නිසා සිත්තැවුලට පත්ව සිටි පුතා මෙසේ කර ගෙන තිබෙන බව  ඔහුගේ මව පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි. සිසුවා ලියා තිබූ ලිපියක්ද පොලිසියට හමුවී ඇත.  අම්මේ මම ඔයාට ආදරෙයි. ඔයා අන්කල් එක්ක හැමදාමත් සතුටින් ඉන්න. මම ඔයාලා දෙන්නටම ආදරෙයි යනුවෙන්ද එම ලිපියේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-