කොලොම්බියාවේ කැලි නුවරදී පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පෙරේදා (02දා) රාත්‍රියේ පැවැති මීටර 400 කාන්තා ඉසව්වේ තෙවැනි මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න තත්. 54.13ක දක්ෂතාවක් දක්වමින් එහි සිවුවැනියා ලෙස තරගය අවසන් කිරීමට සමත් විය.
එමෙන්ම ඇය වාර්තා කළ මෙම කාලය හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදා විය මීටර 400 තරග ඉසවට ක්‍රීඩකාවන් 33 දෙනෙකු තරග වැදුණු අතර, එහිදී තරුෂි වාර්තා කළ කාලය අනුව ඇයට 16 වැනි ස්ථානය හිමි විය. මෙහි අවසන් පූර්ව වටයේ තරග ඊයේ (03දා) පැවැත්වීමට නියමිතව තිබුණද, එම තරග මෙරට වේලාවෙන් පැවැත්වෙන්නේ අද (04දා) අලුයම 3.30ට පමණය.
මෙම තරගයේ අවසන් පූර්ව තරග තුනක් පැවැත්වෙන අතර, එහි පළමු තරගයට තරුෂි සහභාගි වීමට නියමිතව තිබිණි.
මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් තරුෂි කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත දිනට දිවයිනෙන් පිටත්ව යාමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරුෂිට මීටර 800 තරග ඉසව්වට සහභාගි වීමට නොහැකි විය. එමෙන්ම ඇය මෙම මීටර 400 තරගයට සහභාගි වූයේද පැය25කට අධික වෙහෙසකර ගුවන් ගමනකින් පසුවය. විශේෂයෙන් ඇය කොලොම්බියා වේලාවෙන් උදෑසන 9.35 එම තරගයේ මූලික තරගයට සහභාගි වන විට, ඇය ගුවන් යානයෙන් බැස ගතව තිබුණේ පැය. කිහිපයක් පමණි. මේ අතර තරුෂි මෙන්ම වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව පෙරේදා (02දා) පැවැති මීටර 400 කාන්තා කඩුලු පැනීමේ තරගයට අමීෂා හෙට්ටිආරච්චි සහභාගි වූවාය. කෙසේ නමුත් 05 වැනි මූලික තරගයට සහභාගි වූ ඇයට 07 වැනි ස්ථානය හිමි වූ අතර, ඒ හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
තරගය අවසන් කිරීම සඳහා අමීෂා විනාඩි 1.02.11ක කාලයක් වාර්තා කළාය.එමෙන්ම අද (04දා) දිනයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග වදින අතර, එහිදී පසිඳු මෂාන් තුන්පිම ඉසව්වට හා රුමේෂ් තරංග හෙල්ල විසි කිම ඉසව්වට සහභාගි වීමට නියමිතව ඇත. මේ අතර කේ.ඩී.එම්. දර්ශන මීටර 400 කඩුලු මතින් දිවීමේ තරගයට ඊයේ (03)දා සහභාගි වීමට නියමිතව තිබිණි. තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව ඇමරිකාව රන් පදක්කම් 02ක් දිනා පදක්කම් සටහනේ පෙරමුණේ රැදී සිටින අතර, 02 වැනි ස්ථානයේ සිට 05 වැනි ස්ථානය දක්වා එක් රන් පදක්කම බැගින් දිනා ඉතියෝපියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ප්‍රංශය, නෙදර්ලන්තය හා සර්බියාව රැදී සිටියි. මීට අමතරව තවත් රටවල් 11ක් අවම වීදී පදක්කමක් හෝ ලෝකඩ පදක්කමක් දිනා සිටියි. කෙසේ නමුත් තරගාවලියට සහභාගි වූ රටවල් 145කින් පදක්කම් දිනා ඇත්තේ රටවල් 16ක් පමණි. අසල්වැසි ඉන්දියාවද එක් රිදී පදක්කමක් දිනා පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයේ රැදී සිටියි.
(සංජීව ධර්මසේන)
0 Comments