three-wheel-charges

සතියකට ඉන්ධන ලීටර් 30 ක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයෝ පිළියන්දල නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. මේ වන විට සතියකට තමන් වෙත ලබාදෙන ඉන්ධන ලීටර් 5 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එය දිනකට පමණක් සෑහෙන බව පවසමින් විරෝධතා පුවරු රැගෙන බෝකුන්දර හන්දියේ සිට ත්‍රිරෝද රථ සහ පා ගමනින් පිළියන්දල නගරය දක්වා පැමිණ ඔවුන් සිය විරෝධය රජයට පළ කළහ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා.



ත්‍රිරෝද රථ කර්මාන්තයේ යෙදෙන සමස්ත ජනතාව නන්නත්තාර කරලා තිබෙනවා. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපිට කිව්.ආර්. කෝඩ් එක ගහලා සතියකට ඉන්ධන ලීටර් පහයි දෙන්නේ. එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අපේ සියලුම දරු පවුල් කන්නේ බොන්නේ මේකෙන්. මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රවාහනයට ලොකු දායකත්වයක් සපයන්නේ ත්‍රීවීල් රථ රියදුරන්. අපි කැමතියි පළවෙනි කිලෝ මීටරය රුපියල් සියයට දුවන්න. අපි කැමතියි දෙවැනි කිලෝමීටරය රුපියල් අනූ 90ට දුවන්න. කිසි ගැටලුවක් නෑ අපි ඉල්ලන්නේ අපිට සතියකට ඉන්ධන ලීටර් තිහක් ඕන බවයි පිළියන්දල නගරයෙන් පටන් ගත්ත මේ ක්‍රියාමාර්ගය මුළු රටේම සෑම නගරයකම මේ ආණ්ඩුව ගෙදර යන තුරු මේ සටන ඉස්සරහට අරගෙන යනවා යැයි කීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-