udugampola-pool

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් නිවසක මෙහෙකාරියක ලෙස සිටි බාලවයස්කාර දැරියකගේ මළ සිරුර ගෙවත්තේ නාන තටාකයේ තිබී පසුගිය 19 වැනිදා සවස සොයාගත් බව ගහ මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මස්කෙළිය මොක්කාවත්ත පහළ කොටසේ පදිංචිව සිටි 17 හැවිරිදි ශිව කුමාර් රමණී නමැති දැරියකි. එම දැරිය සේවය කර ඇතේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසේ යැයි පොලිසිය පවසයි.



නාන තටාකයේ ගෘහ සේවිකාව වැටී සිටින අන්දම දුටු ව්‍යාපාරිකයාගේ පියා සහ තවත් අයකු ඇය ගොඩට ගෙන ගම්පහ රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරයකු පරීක්ෂ කර බලා ඇය මියගොස් ඇති බව දැනුම් දී ඇත. නාන තටාකය අවට මල් පැළවලට දැරිය වතුර දමන අන්දම සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර බැලීමේදී දක්නට ලැබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මීට මාස 5කට පමණ ඉහතදී මෙම දැරිය ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයට පැමිණ ඇති බවද පොලිසිය කියයි.

මෙම දැරිය මස්කෙළියේ සිට ව්‍යාපාරික නිවසට ගෙනැවිත් බාර දී ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි අයකු විසින් යැයි පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.

දැරියගේ පියා ඇය කුඩා කාලයේ ඇයත් ඇයගේ මවත් අතහැර ගොස් ඇති අතර මව කාලයක් මැදපෙරදිග රැකියාවක් කර මෙරටට පැමිණ සිටින බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය. දැරියගේ සිරුර ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) සිදුකිරීමට නියමිතව ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය