වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී නැවත වතාවක් රට වසා දැමීමේ අවදානමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.
‘‘මේ වන විට කොවිඩ් වයිරසය සීඝ්රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින බව අපි පිළිගත යුතුයි. නමුත් අවාසනාවකට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එයට හේතුව පෙර පරිදි රට පුරා ආසාදිතයන් සොයා පරීක්ෂණ සිදු නොකිරීමයි. විධිමත් ලෙස පරීක්ෂණ සිදු කළහොත් ලැබෙන ප්‍රතිඵලය වෙනස් වීම සහතිකයි.
බොහෝදෙනකු හිතා ගෙන ඉන්නවා තමන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ කුමන හෝ මාත්‍රාවක් ලබා ගෙන සිටීම නිසා ආරක්ෂාකාරීයි කියලා.
නමුත්, ප්‍රතිශක්තිකරණ එන්නතක ක්‍රියාකාරීත්වය තිබෙන්නේ මාස 06ක පමණ කාලයක්.ඒ අනුව තමන් කුමන මාත්‍රාව ලබා ගෙන තිබුණත්, ඒ මීට මාස 06කට පෙර හෝ ආසන්න කාල සීමාවක නම් ඊළඟ මාත්‍රාව ලබා ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම කිසිවෙකුත් පාලනය කරන තුරු නොසිට තම තමන් විසින්ම ස්වයං පාලනයක් ඇති කර ගතහොත් පමණයි අපට ආරක්ෂා විය හැක්කේ.
ඒ නිසා ජනතාවගෙන් අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මහජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලදී දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසයි. එසේ නොකර කොවිඩ් වසංගතයක් අප රට තුළ තිබූ බව අමතක කර කටයුතු කරන්න ගියහොත් සිදු වන්නේ නැවත වතාවක් රට වසා දැමීමට සිදුවීමයි. රට වසා දමනාවද නැද්ද යන තීරණය තිබෙන්නේ මහජනතාව සතුවයි.’’
(ජුඩ් සමන්ත - පුත්තලම)
0 Comments