German-Shepherd-jumped-on-body-and-mother-fell-from-the-upper-floor-and-died

සිය දියණිය බැලීම සඳහා ඇයගේ නිවෙස වෙත ගිය මවක් බල්ලෙකු ඇඟට පැනීම හේතුවෙන් උඩු මහලෙන් බිමට ඇද වැටී මිය ගිය සෝචනීය පුවතක් මුල්ලේරියාව පොලිස් වසමෙන් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ, කැලණිමුල්ල ප්‍රදේශ​යේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ බෑනා (41) මෙලෙස පවසා සිටියේය.



මියගිය අය මගේ බිරිඳගේ මව. ඇය පදිංචිව සිටින්නෙත් අප නිවසට කිට්ටුවයි.

‘සිද්ධිය වූ දින දහවල් ඇය අප නිවසට පැමිණ දුවේ කියලා කතා කළා. ඒ වෙලාවේ මම හිටියේ උඩු මහලේ. බිරිඳ දරුවා රැගෙන ඒමට පාසලට ගිහින් හිටියේ. මම කිව්වා අම්මේ උඩට එන්න. දුව තව ටිකකින් එයි කියලා. ඇය පඩිපෙළ නැගගෙන උඩට ආවත් එක්කම අපේ ගෙදර ඇති කරන බල්ලා එකපාරට ඇයගේ ඇඟට පැන්නා. ඌ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ලොකු බල්ලෙක්.’

හපන්නේ නැති වුණත් අම්මාගේ ඇඟට පැන්නාම ඇයට තම සිරුර පාලනය කර ගැනීමට නොහැකිව උඩු මහලෙන් බිමට ඇද වැටුණා. උඩ අත් වැටක් තිබුණේ නැහැ.’

ඒ වෙලාවේ මම අල්ලපු ගෙදර ඇන්ටිට කතා කරලා වහාම ඇයව මුල්ලේරියාව රෝහලට ගෙන ගියා.

ඒ වන විටත් ඇය මියගොස් සිටියා.’

මරණ පරීක්ෂණය අවසානයේ නිවෙස් අයිතිකරුවන් හට දැඩි ලෙස අවවාද කරමින් මරණ පරීක්ෂකවරිය මෙලෙස පැවැසුවාය.

​‘මේ වගේ කනගාටුදායක මරණයට හේතු වුණේ ඔය අයගේ නොසැලකිලිමත්භාවයයි. නිවෙසේ ආරක්ෂක අත්වැටක් ඉදිකරලා තිබුණා නම් මේ වගේ වටිනා ජීවිතයක් අහිමි වෙන්නේ නැහැ.’

‘මම ඉල්ලනවා ඉතා ඉක්මනින් අඩුම ගානේ උණ ලී ටිකක් ගෙනල්ලා හරි ආරක්ෂක වැටක් ඉදිකරන්න කියලා.’

(සිරිසේන ගමගේ - අරුණ)