The-Ayurvedic-doctor-who-came-to-study-medicine-for-cheating-on-his-wife-was-beaten-up

වෙදකම ඉගෙන ගැනීමට පැමිණි විවාහක කාන්තාවක අඹුකමට ගත් බව කියන ආයුර්වේද වෛද්‍යවරයකුට අතුරුගිරිය නගරයේදී පහර දී මෝටර් රථයකින් පැහැරගෙන ගිය යුද්ධ හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාතේ දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.



එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්‍රාමික කපිතාන්වරයාගේ බිරිඳ සහ විවාහක කාන්තාවගේ සැමියාගේ සහෝදරිය ද සිටින බව පොලිසිය කීවේය.

පැහැර ගත් බව කියන වෛද්‍යවරයාගෙන් වෙදකම ඉගෙන ගැනීම සඳහා ගම්පහ ප්‍රදේශයේ පදිංචි අදාළ විවාහක කාන්තාව කාලයකට ඉහත දී පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අතරතුරදී වෛද්‍යවරයා එම කාන්තාව සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර, මීට මාස තුනකට පමණ ඉහත දී ඇයට ගම්පහ ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ද ඔහු අවස්ථාව සලසා දී ඇතැයි පොලිසිය කීවේය.

මේ අතරතුර දී එම කාන්තාව සිය නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා සමග ආරවුලක් ඇතිකරගෙන තම එකම දරුවා ද රැගෙන නිවසින් අතුරුදන්ව තිබිණි. ඇයගේ සැමියා විසින් සිය බිරිඳ සහ දරුවා සොයා දෙන ලෙස ගම්පහ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.



ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ඉකුත් ජූලි 3 වැනිදා අතුරුගිරිය වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ තිබූ මේ වන විට අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයා, ඔහුගේ බිරිඳ සහ අනික් සැකකාරිය විසින් උපක්‍රමශීලීව වෛද්‍යවරයා මාර්ගය අසලට ගෙන්වා ගෙන ඇත. පසුව එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් සමග ඔහුට පහර දී ඇති අතර, මෝටර් රථයෙන් පැමිණි කාන්තාවගේ නීත්‍යනුකූල ස්වාමි පුරුෂයා විසින් වෛද්‍යවරයා බලහත්කාරයෙන් එහි නංවාගෙන පැහැරගෙන ගොස් තිබිණි.

මද දුරක් යද්දී වෛද්‍යවරයාගේ දුරකථනයෙන් පෙර කී කාන්තාවට ඇමතුමක් ලබා ගෙන ඇත. ඒ පිළිබඳ සැක සිතූ කාන්තාව දුරකථනය විසන්ධි කර ඒ සම්බන්ධයෙන් මීගොඩ පොලිසියට දැනුම් දී තිබේ. අනතුරුව බිය වූ පිරිස වෛද්‍යවරයා ගම්පහ පොලිසිය අසලද දමා ගොස් තිබූ බව පොලිසිය කීවේය.

පසුව වෛද්‍යවරයා විසින් අතුරුගිරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර සැකකරුවන් පිරිස වාරියපොල, ඇඹිලිපිටිය, නවගමුව සහ ගම්පහ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(එස්. ජයසිංහ - කහතුඩුව)