There-are-no-power-plants-that-generate-cheap-electricity-for-religious-shrines-Minister-of-Electricity

විහාරස්ථානවල විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම නිසා එළඹෙන පුන් පෝය දින සියලු විහාරස්ථානවල විලි පහන් නිවා දමා "දායකයන් සමග එක්වී විරෝධතාවය පළ කිරීමට පියවර ගන්නා බව" ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණයක් ගන්නට යන බව වාර්තා පළව තිබෙන පසුබිමේ විෂයභාර ඇමති කංචන් විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ආගමික ස්ථානවලට කිසිදු සහනයක් ලබාදෙන්නට නොහැකි බව දන්වා සිටියේය.
ඉදිරියේදී කඨින චීවර පූජා පිංකම් ඇතුලු පිංකම් රැසක් සිදු කිරිමට නොහැකි තත්ත්වයක් විදුලි බිල වැඩි කිරීමෙන් සිදුවන බවත්, රජයේ මැති ඇමැතිවරු රුපියල් කෝටි ගණනින් හිග විදුලි බිල් නොගෙවා සිටින බවත් රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවේ සභික පුජ්‍ය ගලහ සිරිශාන්ත හිමියෝ මින් ඉහත පවසා තිබූ අතර අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මේ ගැන විමසමින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙසේ කීය.



‘පසුගිය කාලවකවානුවේ දී ආගමික ස්ථාන සඳහා විදුලි සහන ලබා දීමට කටයුතු කළේ, වෙනත් විදුලි ඛාණ්ඩ යටතේ ඒ වියදම පියවා ගැනීම තුළින්. මෙවර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ දී එම ක්‍රමවේදයෙන් බැහැර වෙලා තියෙනවා.
ඒ අනුව, පැවති ක්‍රමවේදය අනුව ආගමික ස්ථාන සඳහා ඒකක 30ට වැඩි විදුලි බිලක් සඳහා රුපියල් 1.90ක් ද, ඒකක 180 ඉක්ම වූ විදුලි බිලක් සඳහා ඒකකයකට රුපියල් 9.40ක මුදලක් ද වශයෙන් උපරිම මිලක් ගෙවන්නට සිදුවෙලා තියෙනවා.
නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ එම ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන්න විදිහක් නැහැ.
ලංකා විදුලි බල මණ්ඩලයේ දත්තයන්ට අනුව ආගමික ස්ථානවලට අයත් විදුලි සම්බන්ධතා 48,682ක් පවතිනවා.
එයින් ඒකක 30ක් දක්වා වූ විදුලි පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන 15195ක් පවතිනවා.
එම ආගමික ස්ථානවලට ගෙවන්නට සිදුවන උපරිම විදුලි බිල සඳහන් වන්නේ රුපියල් 330ක් පමණයි.


මීට අමතරව තවත් ආගමික ස්ථාන 15,195ක් සඳහා මීට පෙර ගෙවන්නට සිදු වූ විදුලි බිල ලෙස සටහන් වූ රුපියල් 285ක් වර්තමානය වන විට රුපියල් 1,260ක් දක්වාපමණක් වැඩිවෙලා තියෙනවා.
මේ ආකාරයට රුපියල් 607ක උපරිම ආගමික ස්ථාන 3852ක වර්තමාන විදුලි බිල රුපියල් 1860ක් දක්වා ත්,  ආගමික ස්ථාන 5,897ක් සදහා රුපියල් 1,057 සිට රුපියල් 3,990ක් දක්වා විදුලි බිලක් වැඩිවී තිබෙනවා.
ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් පමණක් අඩු මුදලට විදුලිය උත්පාදනය කරන බලාගාර නැහැ. ඒ නිසා මේවා ගෙවන්නම වෙනවා.
මෙම ගැටලුව සඳහා පිළියමක් ලෙස සූරිය පැනල සවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.
 ඒවා මෙරටට ආනයනය කර ගැනීම සඳහා විදේශ විනිමය ගැටලුවක් පවතින බැවින් ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කොට ණය මාර්ගයක් ආශ්‍රයෙන් සෝලා පැනල මෙරට එම ව්‍යාපෘතිය දියත් කිරීමට බලාපොරොත්තු වනවා.‘