akkaraipattu-beach-ilmenite

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවේ සිට කෝමාරි දක්වා වෙරළ කලාපය ආශ්‍රිත වෙරළ කලාපයේ ඉල්මනයිට් කැණීමේ කටයුතුවලට විදෙස් සමාගමකට අවසර ලබාදී ඇති බවත්, මේ නිසා දැවැන්ත පරිසර ගැටලු මතුවීමේ අවදානමක් උද්ගත වන බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. අක්කරෙයිපත්තුවේ සිට කෝමාරි දක්වා වූ කිලෝමීටර් 15ක වෙරළ තීරුවේ ඛනිජ වැලි හාරා ඒවා පිටරට යැවීමට එංගලන්තයේ සමාගමකට මෙලෙස අවසර ලබාදී ඇතැයිද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.



මෙම වෙරළ තීරය ආශ්‍රිතව කලපු හයකට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබෙන බවත්, මෙලෙස වැලි කැණීම නිසා මුහුදු වතුර රට තුළට ගලා ඒමේ අවදානමක් පවතින බවත් පරිසරවේදීහු පවසති. වෙරළ තීරයේ වැලි කැණීම හේතුවෙන් ධීවර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බවද ප්‍රදේශයේ ධීවර ජනතාව ද කියා සිටිති. මෙලෙස හාරන ලද ඛනිජ වැලි දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ඔළුවිල් වරායට රැගෙන ගොස් විස්ථාරණය කිරීමට නියමිතය. මෙරට ඛනිජ සම්පත් බහුල වැලි මෙලෙස අපනයනය කිරීම නිසා ජාතික ආදායමට විශාල මුදලක් අහිමි වන බවද පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්. රණවක ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ වෙරළ කලාපයේ කිලෝමීටර් තුනක ප්‍රදේශයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සමාගමට අවසර ලබාදී තිබෙන බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාගම පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ බවත්,

ඊට අදාළව මහජන අදහස් විමසීමෙන් පසුව අදාළ වාර්තාව තාක්ෂණික කමිටුවක පරීක්ෂාවට ලක්කර මෙම අවසරය ලබාදී ඇති බවත් ඔහු කීවේය. පාරිසරික ඇගයීම් වාර්තාව අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා වෙරළ තීරයේ කිලෝමීටර් 10ක භූමි ප්‍රදේශයක් සඳහා සමාගම ඉල්ලීම් කර තිබූ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

(සාලිය කුමාර ගුණසේකර)