anjana-kulatunga-death

පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදන්ව සිට ඊයේ මහවැලි ගංදෑලේදී මළ සිරුර හමුවූ සරසවි සිසුවා ගැන මේ වනවිට සමාජ මාධය තුළ කථාබහක් නිර්මාණයවී ඇත.
යක්කල සිට පේරාදෙණි සරසවි ඉගෙන ගන්නට ගිය අංජන කුලතුංග නමැති ඔහු ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව ඇතුළු විෂයන් හැදෑරූ අවසන් වසර සිසුවෙකි.ඔහුගේ මරණයට මානසික පීඩනයක් බලපා ඇති බවට මේ වනවිට තොරතුරු පළව තිබේ.එය 'රැග්' එකක් නිසා වන්නට ඉඩ නැත්තේ ඔහු අවසන් වසරේ සිටි අයෙකු නිසාය. එසේම විභාග ප්‍රතිඵල ඉහළින් ලබාගෙන ඇති ඔහු සරසවියේ පළමු පෙළ සාමාර්ථයකට යන ලකුණු සාමාන්‍ය පෙන්නුම් කළ දක්ෂයෙකි. ඔහුට කාලයක් තිස්සේ මානසික ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද කියැවේ.
ඔහු නැවතී සිටි බෝඩිමේ තබා තිබූ අවසන් සටහනෙහි මරණයට හේතු නැත. එහි සටහන්ව තිබී ඇත්තේ 'දැන් වේලාව 8 යි. මං යන ගමනට බාධා කරන කෙනෙක් හමු නොවුණොත් මං තව පැය බාගෙකින් පසු මහවැලි ගඟේ' යනුවෙනි.
අනපේක්ෂිත ලෙස සමුගත් අංජන ගැන ඔහුගේ ජ්‍යොෂ්ඨ සරසවි මිතුරෙකු තබා තිබූ සටහනක් පහතින්




'අතුරුදහන් ව සිටි අපගේ මිත්‍රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම මෙතැනින් අවසන් ය.

මේ සිදුවීමේදී අත්දැකීමෙන් දැනගත් සහ අසා දැනගත් කාරණා අතරින් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට වැදගත් වේ යැයි සිතෙන කාරණා කිහිපයක් ගැන සඳහන් කරමි. ඔහුගේ මරණය සිදු වූයේ කෙසේද යන්න තහවුරු කිරීම නිලධරයන්ට භාර ය. එනිසා ඒ ගැන කිසිත් නොකියමි. දැන් අංජන වෙනුවෙන් කළ හැකි යමක් නැත.

මේ හෑල්ල අපේ අංජන ගැන නෙවෙයි , ඔබේ අංජන ගැන.

වෙනදා සෙනට් එකේදි මාව දැක්කම “අයියෙ මට ඔයත් එක්ක කතා කරන්න ඕන” කියන අංජන මේ පාර එහෙම කිව්වෙ නෑ. පොඩි පොඩි කතා ටිකක් කියලා හිනාවෙලා හිටියා. ඒ සියුම් වෙනස අඳුරගන්න මට බැරි උණා. මම ම අංජන ගාවට ගිහින් කතා කරන්න බලද්දි එයා බර කතාවක. එදා බ්‍රහස්පතින්දා මම free වෙද්දි එයා busy. එයා free වෙද්දි මම busy.

අංජන තමන්ගෙ ප්‍රශ්න කියන්න තෝරගත්ත පිරිසක් හිටියා. මා දන්නා තරමින් අංජන ඒ අයට කියලා තිබුණා සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි තියෙන බව. මානසික ආතතියකින් පෙළෙන කෙනෙක්ට සියදිවි හානි කර ගැනීමේ සිතිවිලි පහළ වෙලා තියෙන බව දැනගත්ත ම කරන්න කියලා පොත්පත්වල කියන විදියට ම මනෝ උපදේශනයකට යොමු කරන එක එයාලා කරලා තිබුණා. (මනෝ උපදේශනය හරියට උනාද කියන එක මම දන්නෙ නෑ)

නමුත්, මනෝ උපදේශකයා එක්ක ඉන්න පැය ගාණට වඩා අංජන මනෝ උපදේශකයා නැතුව ඉන්න පැය ගාණ වැඩියි. ඒ හින්දා අංජනට සියදිවි හානිකර ගැනීමේ සිතිවිලි පහළ වෙලා කියලා අංජන එක්ක සමීපව හිටපු කොල්ලෙක්ට හරි කියන්න තිබුණා කියන අදහස මගෙ හිතෙන් අයින් වෙන්නෙ ම නෑ. අදටත් සමහරු දන්නෙ නෑ “අඩෝ දැන් නම් මට මැරෙන්න හිතිලා තියෙන්නෙ” කියලා කිව්ව ම අපි ඌට හොරා ඌව හොඳින් තියාගන්න යටින් ගහපු ගේම. අංජනට සියදිවි හානිකර ගැනීමේ අදහස් තිබුණා කියලා එක කොල්ලෙක් දැනන් හිටියෙ නෑ. හැමදේම එළියට ආවේ අංජන අතුරුදහන් වෙලා කියන ආරංචියට පස්සෙ. එතකොට පරක්කු වැඩියි. මං හිතනවා කෙනෙක් suicide thoughts තියන බව කිව්ව ම පොතේ හැටියට counselling වලට යවනවා විතරක් නෙවෙයි, ඒ කෙනා එක්ක ඉන්න/හිටපු/care කරන අයට කියන්න ඕන. ඒකට විශ්වාසය බිඳින්න වෙනවා. Suicide thoughts එන හේතු පෞද්ගලික වෙන්න පුලුවන් ඒත් suicide thoughts ආවා කියන එක පෞද්ගලික නෑ. අපෙන් එකෙක්ට මැරෙන්න හිතිලා නම් ඒක උගේ විතරක් එකක් වෙන්නෙ කොහොමද? මනෝ උපදේශනය වැඩ කරනකම් සිගරට්ටුවකින්, බියර් එකකින්, ගැඹුරු කතාබහකින්, චිත්‍රපටයකින්, විහිළුවකින් හරි අල්ලලා තියාගන්න ඕන කියලයි මට හිතෙන්නේ. අංජන තමන්ගෙ කතාව කියන්න තෝරගත්ත අයට ඒ සියුම් කාරණය මගහැරෙන්න ඇති. ඒ හැරුණම ඔවුන් ඔවුන්ට කළ හැකිව තිබු උපරිමය කළ බව මට විශ්වාසයි. අවාසනාව!

මේක කිව්වෙ අතීතය වෙනස් කරන්න නෙවෙයි, අනාගතයට පාඩමක් කරගන්න.

අංජන හොඳ සවන්දෙන්නෙක්. “A listener needs a listener. සවන්දෙන්නෙක්ටත් සවන්දෙන්නෙක් ඕන; මිනිහෙක්ට අඬනකොට ඔලුව තියාගන්න උරහිසක් ඕන; බොහෝ උස් කඳු මුදුන්වල ඔබ නොදන්නා කතාවක් ඇත… එහෙම කන්දක් නාය යන්නේ දරාගන්නට බැරි ම වූ තැන” කියන කතා ඇත්ත. හැමෝගෙම ප්‍රශ්නවලදි හිත හදන තාර්කික ව විසඳුම් දෙන අංජනලා තවත් ඇති, තමන්ගෙ ප්‍රශ්නවලදි හිර වෙන. ඒ අය ගැන බලන්න!

මීට අමතර ව මේ සිද්ධියට අදාළ ව මැරුණු මිනිහෙක්ටත් අගෞරව කරන විදියෙ කතා කිහිපයක් ප්‍රචාරය වෙනවා දැක්කා. ඒවටත් ප්‍රතිචාර දක්වන්න ඕන.



මම අංජනව දන්නෙ A17 batch එක registration එකට ආව දවසෙ ඉඳන්. මමයි අංජනට මුලින්ම කතා කළේ. මමයි අංජනට ඇන්ටිරැග් වීම ගැන කිව්වෙ. මම Anti-ragger කෙනෙක් විදියට ගෙම්බා එකේ තියන department welcome party, department farewell, department photo හැමදේම වර්ජනය කරපු කෙනෙක්. (මම Anti-Ragger කෙනෙක් නෙවෙයි වගේ හිතෙනව නම් වාත එකෙක්ගෙන් අහලා බලන්න. අපෝ ඕකා අමු අලයා කියලා කියයි.) එහෙම anti-ragger කෙනෙක් හැටියට මම කියන්නෙ අංජනට රැග් එකට සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණේ නෑ. තිබුණා කියන්න තහවුරු කරගත්ත සාක්‍ෂි නෑ. බොරු කතා පතුරුවන්න එපා!!!

ඇන්ටිරැග් උනාට පස්සෙ අංජන යාලුවෙක් ගෙ භූමිකාවට එන්නෙ ඉබේටම. සෙනට් එකේදි හම්බුණාම වාඩිවෙලා කතා කරන්න ඕන කියලා, වට්ස්ඇප් ගෲප්වල අංජනට මරිමොංගල් කතා කියාගෙන ආව කෝට් කාරයාගේ ඉඳන්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ මාතෘකා දක්වා මාත් එක්ක කතා කළා. අංජන දුර්වලයෙක්, ගොනෙක් මෝඩයෙක් කියාගෙන පොර ටෝක් දෙන කැම්පස් ආව-නාව කාට-කාටත් පොදුවේ මේ කියන්නෙ. අංජන දුර්වලයෙක් නෙවෙයි. දරා ගැනීමක් නොතිබුණ කෙනෙක් නෙවෙයි. නොදන්න කතා නොකියා ඉන්න එක හොඳයි!!

අංජන මනෝ විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක් වෙලත් ඇයි එයා මෙහෙම කරගත්තෙ? කියන පැනයට මට දෙන්න තියෙන උත්තරය තමයි
“ලෙඩ වෙන හැටි දැනගත්තා කියලා දොස්තරට ලෙඩ හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ” කියන එක. හෙම්බිරිස්සාවක් හැදුන මිනිහෙක්ට ගඳ-සුවඳ ගැන දැනීමක් නෑ වගේ, මානසික ආතතිය/ විශාදය හැදුණු මිනිහෙක්ට හරි-වැරදි ගැන දැනීමක් නෑ. නහය තිබිලත් ගඳ-සුවඳ දැනෙන්නෙ නෑ වගේ තමයි මොළේ තිබුණත් බුද්ධිය නැති වෙනවා. හෙම්බිරිස්සාව හැදුණු කෙනෙක්ට ගඳ-සුවඳ දැනෙන්නෙ නෑ කියලා බැණලා හරියනවද? විශාදය හැදුණු කෙනෙක්ට හරි-වැරැද්ද නොපෙනුණා කියලා බැණලා හරියනවද?



ඒ වගේම, විශාදය – depression විහිළුවට ගන්න මීම්ස් හදන පේජ් සහ ශෙයා කරන අය වගකියන්න ඕනෑ මනස ලෙඩ උනාම ප්‍රතිකාර ගැනීම ලැජ්ජාවට කාරණයක් බවට පත් කළාට.

අන්තිමට කියන්න තියෙන්නේ, අපේ අංජන දැන් නෑ. ඒත් ඔබේ අංජන තාම ජීවත් වෙනවා. ඔහුව බලාගන්න!

උපුටාගැනීම : ෆේස්බුක්