apeksha-hospital

වසර කිහිපයකට පෙර තහනමට ලක්වූ ඖෂධ සමාගමක් විසින් ලියාපදිංචි නොකළ ට්‍රැසුමෑබ් (trazumab) ඖෂධය මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.



මේ පිළිබඳ සොයා බලා විමර්ශනය කර සවිස්තරාත්මක වාර්තාවක් ඊයේ (08) වන විට ලබා දෙන ලෙස ජනාධිපති කාර්යාලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත දැනුම් දී තිබේ. එම විමර්ශන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය විසින් ආරම්භ කර ඇති අතර එම නිලධාරීන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.එමෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයෙන් සහ රෝගීන්ගෙන් ද ඔවුන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම ඖෂධය අඩංගු එන්නත් කුප්පි දහසක් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ටෙන්ඩර් කැඳවා තිබුණි. එම ටෙන්ඩරයට අනුව එන්නත් කුප්පි පන්සියයක් ලබා ගෙන පිළිකා රෝගීන් සිටින රෝහල් සඳහා බෙදා දී ඇත. කෙසේ වෙතත් පිළිකා රෝහල් තුළ සිටින පියයුරු පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මෙම ට්‍රැසුමෑබ් ඖෂධවල හිඟයක් ද පවතින බව රෝහල් අධ්‍යක්ෂකවරු සෞඛ්‍යය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.