arshdeep-singh-after-crucial-dropped-catch

ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දිප් සිං අවස්ථා දෙකකදී මරණ තර්ජන වලට ලක්වීම නිසා අපහසුතාවයට ලක්ව ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේදී පසුගිය ඉරිදා ඉන්දියාව පකිස්තානයට පරාජයට පත්වූ තරගයේදී අර්ෂ්දිප් සිං  පන්දු රකිමින් සිටියදී අසිෆ් අලී ලබාදුන් උඩපන්දුවක්  අත්හැරිය අතර එදින ඉන්දියාවේ පරාජයට එය තීරණාත්මක මගහැරීමක් බවට මත පළවිය.
මෙම සිද්ධියෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ අර්ෂ්දිප් සිංට එරෙහිව විශාල විරෝධයක් මතුවිය.
එම විරෝධය අතර කියැවුණ කාරණාවක් වූයේ අර්ෂ්දිප් සිං සික් ජාතිකයෙකු බවටත් ඔහු ඉන්දීය රජය සමග සටන් කරන සික් සටන්කාමී කන්ඩායමක් වන කලිස්තාන ව්‍යාපාරය හා සම්බන්ධ බවත්ය.
 මෙම උඩපන්දු අතහැරීම දේශපාලනික බවට චෝදනා නැගූවන් මත පළ කර තිබුණි.
මෙම මතය සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට අමතරව අර්ෂ්දිප් සිංගේ විස්තර සටහන් වන විකිපීඩියා පිටුවේද වැරදි අදහස් යාවත් කාල කරන්නට විරුද්ධවාදී ප්‍රේක්ෂකයින් කටයුතුකර තිබුණි.

මේ නිසා මෙ ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි සික් ජාතකියින් වෙනුවෙන් කටයුතු කරන ඉන්දීය දේශපාලකයෙකු පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.
   
මේ අතර ඊයේ (6) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග පරාජය අවස්ථාවේ අවසන් පන්දු ඕවරය යවමින් සිටියේද අර්ෂ්දිප් සිං වන අතර ඔහුට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වළක්වන්නට බැරිවීම ගැනද ඇතැම් ඉන්දීය ප්‍රේක්ෂකයින් විරෝධය පළ කර තිබේ. පස්වන පන්දුවේදී දසුන් ශානක හා භානුක රාජපක්ෂ දුවද්දී දැවීමකට හසුකරගන්නට හැකියාව තිබියදී වේලාවට යොමු කළ පන්දුව විකට්ටුවට යොමුකරවන්නට පන්දු යවන අන්තයේ සිට රැකීම ගැන උනන්දුවක් නොදැක්වීම ගැන නැවතත් අර්ෂ්දිප් සිං ඇතැමුන්ගේ විවේචනයට ලක්ව තිබේ.


මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයෙන් පසු, ඉන්දීය කණ්ඩායම නැවත හෝටලයට යාමට කණ්ඩායම් බස් රථයට ගොඩවෙමින් සිටියදී අර්ෂ්දිප් සිංගේ නම කියමින් කෑගැසූ ප්‍රේක්ෂකයෙකු ඉරිදා අතහැරිය උඩපන්දුව ගැන සඳහන් කරමින් හා ශ්‍රී ලංකාවේ තරගය අවසන් ඕවරයේ අඩු උනන්දුවක් ගැන නින්දා සහගත ප්‍රකාශයක් කළේය. නරඹන්නා පවසන දේ අසා සිටි අර්ෂ්දීප් බසයට ගොඩවීම තරමක් නවතා සිටි බවත් පුද්ගලයා දෙස බලා සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය රසිකයා උපහාස සිනාවකින් සරදම් කරන අයුරු කැමරාවටද හසු විය. ආරක්ෂකයින් පුද්ගලයාව ඇදගෙන ගොස් ක්‍රීඩාංගණයෙන් පිටතදී අවවාද කර ඇතිඅතර ඔහුට අවසානයේ සමාව ගැනීමට සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


කෙසේ වෙතත් මේ ගැන විස්තර කරන ඉන්දීය විචාරකයින් පවසන්නේ අර්ෂ්දිප් සිං ඊයේ අවසන් ඕවරය ඉතා හොඳින් යොමු කළ තර්ජනාත්මක එකක් වූ බවයි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වළක්වන්නට බැරිව ගිය නමුත් අසීරු කළ එකක් බවයි.
මේ අතර ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දිප් සිංට අනවශ්‍ය අවලාද නොනගන ලෙස ඉල්ලමින් සුපිරි ක්‍රීඩක තෙන්දුල්කාර් ඇතුළු පිරිසක් ට්විටර් ඔස්සේ පණිවිඩ නිකුත් කර තිබේ. ඔහු ඉන්දීය පිල වෙනුවෙන් සිය කැපවීම සියයට සියයක් යෙදවූ ක්‍රීඩකයෙකු බවත් පරාජයේ කෝපය මත අනවශ්‍ය අවලාද නොනගන ලෙස එම පණිවිඩ මගින් ඉල්ලා තිබේ.