badulla-incident

බදුල්ල, ග්ලේන්පින්වත්ත, හිඟුරුගමුව කොටසේ වතු නිවසක නිදන කාමරයේ ඇඳක් මත තිබූ තියුණු ආයුධයකින් ගෙල කපා කොටා දමා ඝාතනය කළ මවකගේ සහ දියණියකගේ මළ සිරුරු දෙකක් පෙරේදා (10 වැනිදා) පෙරවරුවේ සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. එම කාමරයේ බරපතළ කැපුම් තුවාල ලබා සිටි දියණියක පෙරේදා (10 වැනිදා) බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ බදුල්ල, ග්ලේන්පින්වත්ත, හිඟුරුගමුව කොටසේ කාත්තන් ලැයිමේ පදිංචිව සිටි එච්.එම් රංමැණිකා (83) සහ ආර් .එම්. ජයවතී (58) යන මව සහ දියණිය වන බව පොලිසිය පවසයි.

ආර්.එම්. මිසි නෝනා (62) නමැති දියණියක කැපුම් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 10ට ඇතුළත් කළ බවත් පොලිසිය පැවසීය.

මියගිය මව සහ ඇගේ දියණිය පමණක් මෙම නිවෙසේ කල්ගෙවා ඇති අතර, රං මැණිකාගේ සැමියා කලකට ඉහතදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි . දියණිය බදුල්ල ග්ලේන්පින්වත්ත,  තේ කර්මාන්ත ශාලාවේ සේය කර ඇති අතර, අවිවාහක ඇය  සුළු වශයෙන් පොලියට මුදල් දීම, රන්භාණ්ඩ උකස් ගැනීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය සඳහන් කළේය.

තේ කර්මාන්ත ශාලාවේ පසුගිය 9 වැනිදා සේවයට ගොස් යළි  පස්වරුවේ නිවෙසට ඝාතනයට ලක්වූ දියණිය පැමිණ ඇති අතර, එම අවස්ථාවේ මුහුණ ආවරණය කරගෙන නිවෙසට පැමිණ ඇති අවුරුදු 35, 37 පමණ වයසේ පසුවන තරුණයන් දෙදෙනකු ඇයටත් මවටත් පොල්ලකින් හිසට පහරදී පිහියකින් ගෙල කපා දෙදෙනා නිවසේ නිදන කාමරයේ ඇඳක් මත  මෙලෙස ඝාතනය කර ඇති බවත් පොලිසිය පැවසීය. සාතනයට ලක්වූ 83 හැවිරිදි රංමැණිකා ගේ වැඩිමහල් විවාහක දියණියක මෙම නිවෙසට යාබද නිවසක පදිංචිව සිටින අතර, ඇය දිනපතාම රාත්‍රී නිදාගැනීමට මවගේ නිවසට පැමිණ ඇති බවත් පොලිසිය කීය. ඇයට දරුවන් දෙදෙනකු සිටින අතර, ඇයගේ සැමියා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඇය සුපුරුදු පරිදි 9 වැනිදා සවස 6.30 ට පමණ මවගේ නිවෙසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ නිවසේ මුහුණ ආවරණය කරගෙන සිටි තරුණයන් දෙදෙනකු ඇයට නිවෙස තුළට යාමට ඉඩ නොදී නවතා ගෙන ඇති අතර, ටික වේලාවකට පසුව නිවස තුළට ඇය රැගෙන ඇයගේ අත්දෙක ගවුමකින් ගැටගසා පුටුවක ගැටගසා දමා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.



එදින රාත්‍රී 8.30 ට පමණ එම තරුණයන් දෙදෙනා ඇයගේ ගැටගසා තිබූ දෙඅත් ලිහා දමා ඇති අතර, ඉන්පසුව ඇය මුළුතැන්ගෙයට ගොස් කිරිතේ සාදාගෙන විත් නිවසේ නිදන කාමරයේ ඇදක් උඩ තුවාල ලබා වැටී සිටි මවට සහ නැගණියට හැන්දකින් කිරි තේ පොවා ඇති බවත් පොලිසිය පැවසීය. එම අවස්ථාවේ මුහුණ ආවරණය කරගෙන සිටි තරුණයන් දෙදෙනා ඇයගේ හිසට පොල්ලකින් පහරදී ගෙල පිහියකින් කපා දමා ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.එහිදී ඇයට නින්ද ගොස් 10 වැනිදා අලුයම 3.00ට පමණ අවදිවී බැලීමේ දී මවත් නැගණියත් නිදන කාමරයේ ඇඳ උඩ කැපුම් තුවාල ලබා ලේ විලක් මැද මියගොස් සිටි බව දැක ඇති අතර, තරුණයන් දෙදෙනා නිවෙසේ නොසිටි බවට තුවාලකාරියගේ ප්‍රකාශවලින් අනාවරණය විණැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඇයද තුවාල ලබා සිට උදෑසන  6. 00ට පමණ අසල්වැසියන්ට සිද්ධිය පවසා පසුව බදුල්ල පොලිසිය දැනුවත් කර තිබේ. බදුල්ල මහේස්ත්‍රාත් සුජිත් ද සිල්වා මහතා පෙරේදා (10) සිද්ධිය වූ නිවෙසට ගොස් නිරීක්ෂණ සටහන් කරගෙන මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීය.  මෙම මළසිරුරු දෙක බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී  ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු  කර අධිකරණයට කරුණු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. මෙම ද්විත්ව ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

(ඇල්ල - ප්‍රසාද් රුක්මල් )