සුදු මැස්සාගේ උවදුර නිසා මේ දිනවල ජා-ඇළ ප්‍රදේශයේ පොල් අක්කර දහසකට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාර කපිල හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය කළමනාකාරවරයා,

"පොල් ගසේ අතු කහපැහැ ගැන්වී මැලවී කඩා පහත් වන මෙම රෝගයට ස්ථිර විසදුමක් තවමත් ලබා දීමට නොහැකි වී ඇති අතර තදබල ලෙස හානි සිදුව ඇති වගාබිමි පවතින ග්‍රාම නිලධාරී වසම් හදුනාගෙන උවදුර මර්දනය කිරීමට තාවකාලික ක්‍රියාමාර්ග ගණනාවක් මේ වනවිට ගෙන තිබෙනවා. ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මේ දිනවල ඉන්දියාවේද සහාය ලබා ගෙන සුදු මැස්සා මර්දනය කිරීමට ජීව විද්‍යාත්මක ක්‍රමයක් සුදු මැස්සා වනසා දැමීමට තවත් කෘමියෙක් නිර්මාණය කිරීම අත්හිටා බලමින් සිටින අතර එහි ප්‍රතිඵල ලබා ගැනීමට අඩු තරමින් මාස දෙක තුනක කාලයක් ගත වනු ඇති. මේ දිනවල සුදු මැස්සා මර්දනය කිරීමට භාවිත කිරීමට අනුමැතිය ලබා ගෙන ඇති රසායනික ද්‍රව්‍ය 4ක් නිර්දේශ කර සුදු මැස්සා මර්දනය කිරීමේ ක්‍රියාවලියේදී පොල් වගාකරුවන්ට ඒ සඳහා තාක්ෂණික දැනුම සහ තෙල් ඉසින බලවේග යන්ත්‍ර නොමිලේ ලබා දී තිබෙනවා. පොල් වගාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති මේ අවස්ථාවේ එය මර්දනය කිරීමට කඩිනමින් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සදහා රුපියල් මිලියන තුනක ප්‍රතිපාදන ලබා ගැනීමට රජය දැනුවත් කර තිබෙනවා.

ජා-ඇළ ප්‍රදේශයේ උතුරු බටගම, යක්කඩුව, නාරංගොඩපාලුව, බන්ඩිගොඩ, උතුරු කුඩහකපොළ දඩුගම සහ කඳාන යන පෙදෙස්වල සුදු මැස්සාගේ උවදුර තදින් පැතිර ගොස් ඇති අතර වත්තල, මීගමුව, කටාන යන ප්‍රදේශවලටද පැතිර යමින් තිබෙනවා." යැයිද පවසා සිටියේය. තම වගාවන්ට සුදු මැස්සාගෙන් වන හානිය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බවද උවදුර මර්දනය කිරීමට අනුමැතිය ලැබී ඇති කෘමි නාශකවල පවතින අධික මිල නිසාත් ලබා ගැනීමට ඇති අපහසුතාව නිසාත් තමන් ගැටලු රැසකට මුහුණපා ඇති බව පොල් වගාකරුවෝ පවසති.


(ජා-ඇළ තිස්ස කොටාන්කඩුව)