අහිතකර බැක්ටිරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් දෙන පොහොර නැව වෙනුවෙන් කිසිදු සරණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් (ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම පාඩු වූ මුදල, අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැණීම සහ 2020-21 මහ කන්නය සදහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන්, අදාළ පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගතකර, සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපතිවරයා දැනුම් දී ඇත.
විගණකාධිපතිවරයා මෙම නිර්දේශය කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තතාව ඉදිරිපත් කරමිනි. ජීවානුහරණය නොකළ සහ මදන කිරීමට නිර්දේශිත කෘමි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්රිටීයා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබු බව විගණකාධිපතිවරයා එම චාරිතාවෙන් පෙන්වා දී ඇත. එම පොහොර තොගය රටට ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ගවලට දැඩි බලපෑමක් එල්ලවීමට හැකිව තිබිණැයි සඳහන් කරන විගණන වාර්තාව 2021-22 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමෙන් පාඩුවක් කර ඇතැයිද ප්‍රකාශ කරයි.
නොසැපයූ පොහොර වෙනුවෙන්, එලෙස ගෙවූ මුළු මුදලම පාඩුවී ඇතැයි ද විගණකාධිපතිවරයා සඳහන් කරයි. තාක්ෂණ අගැයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත. චීනයේ කිත්සාවෝ බයෝටෙක් සමුහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරුණු ප්රතිසම්පාදන කමිටුව නිර්දේශ කර තිබූ බවත්, එම නිර්දේශිත පොහොර තොගයෙන් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද සියයට හතළිහක් සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින් ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා කාෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 අගෝස්තු මස 5 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.
එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බව ද එහි සඳහන් වේ. අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදාය. ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වූ අතර පොහොර තොගය රට තුළට ගෙන ඒමට මේ අනුව අවසර නොදෙන ලදී. මෙම මතභේදාත්මක තත්වය විසඳීමට නීතිපතිවරයා පවා පසුව මැදිහත් විය. මාස ගණනාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැගුරලා තිබූ මෙම චීන නෞකාව අදාළ මුදල ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටව ගියේය.
සුපිත් හේවාජුලිගේ
0 Comments