cid-investigation

බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ බාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදාහැරීමෙන් කරන ලද දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (05) කරුණු වාර්තා කළේය.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනය බාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ මහතා අල්ලස් කොමිසමට ඊයේ (05) නොතීසි නිකුත් කළේය. මෙය, 'දූෂණය' සම්බන්ධයෙන් වන වරදක් බැවින් අදාළ විමර්ශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදීම සඳහා එම කොමිසමට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නොතීසිය නිකුත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ, ජගත් අල්විස් මහතා විසින් ඉකුත් ජනවාරි මස 28 වැනිදාය.



පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ෂන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් නිලධාරියා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉකුත් 2021 පෙබරවාරි මස 21 වැනිදා සිදුකරන ලද වැටලීමකට අදාළව ඩුබායි රටට උණ්ඩියල් ක්‍රමයට මුදල් යොමු කරන සිද්ධියක් සම්බන්ධයෙන් වන විමර්ශනයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් සොයාගෙන ඇති බවත් ඒ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තතා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පසුව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා විසින් විමර්ශනය කරන ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තතා කර ඇත.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගන්නා ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති) රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් තර්ජනාත්මකව සිදුකරනු ලැබ ඇති නියෝග මත විමර්ශන නිලධාරීන් විමර්ශන අවසන් කර නොමැති බවත් එහි නඩු භාණ්ඩ වන රුපියල් 7,543,110/= ක මුදලක් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩු භාණ්ඩ එම සැකකරුවන්ට මුදාහැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වර්තමාන වැඩබල නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි කළ කාලය තුළ සිදුකරන ලද වංචා සහ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකළ මෙම විමර්ශනයේදී හිටපු අධ්‍යක්ෂවරයා නඩුවට අදාළ නිලධාරීන්ට අයුතු බලපෑම් කරමින් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරින් තර්ජනාත්මකව  පොළඹවා ඇති බවත් ඒ මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 හි නඩු අංක 47361/05/21 දරන නඩුවේ නඩු භාණ්ඩයක්ව පැවැති රුපියල් 7,543,110/= ක මුදලක් සැකකරුවන්ට මුදාහැරීම සඳහා කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තතා කර ඇත.

මෙම අපරාධය 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ මෙන්ම 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 55(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ත කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකක 02 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයරත්න මහතා විසිනි. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 02හි ස්ථානාධිපතිවරයා සමග පොලිස් සැරයන් (14719) ප්‍රියන්ත නිලධාරියා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
නිමන්ති රණසිංහ