commonwealth-karate-birmingham-sri-lankans

පොදුරාජ්‍ය මණ්ඩලයීය කරාතේ දෝ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා පසුගියදා එංගලන්තය බලා
පිටත්ව ගිය ශ්‍රී  ලංකා කණ්ඩායම එංගලන්තයෙන් නැවත පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වෙන මෙම
තරගාවලිය පැවැත්වෙන අතර, ශ්‍රී  ලංකා කණ්ඩායමට එයට සහභාගි වීම සඳහා වීසා බලපත්‍ර ලැබී
තිබුණේ අවසාන මොහොතේ එනම් පසුගිය 27 වැනිදාය. කෙසේ වෙතත් මෙම ප්‍රමාදය නිසාම එකම ගුවන්
යානයක් තුළ කණ්ඩායමේ සාමාජිකයන්ට ආසන වෙන්කරවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ගුවන්
යානා 3කින් වෙන වෙනම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවද දැනගන්නට ඇත.



එසේම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා විශාල මුදලක් ක්‍රීඩා
අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ අතර, ගුවන් ටිකට්පත් ඇතුළු වෙනත් වියදම් මෙම ක්‍රීඩක
ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික මුදලින් පියවාගෙන තිබීමද කනගාටුදායක සිදුවීමකි.

මෙවන් තත්ත්වයක් තුළ එංගලන්තය වෙත ළඟා වූ  ශ්‍රී  ලංකා කණ්ඩායම එහිදී දැඩි ලෙස ප්‍රශ්න
කිරීමකට බඳුන් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී  ලංකාව බලා
නැවත පිටුවහල් කිරීමට එරට ආගමන විගමන බලධාරීන් කටයුතු කර තිබීම මවිතය දනවන්නකි.

එහිදී ඔවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ මෙම ක්‍රීඩක
ක්‍රීඩිකාවන් එංගලන්තයේදී පැන යෑමේ සූදානමක් පවතින්නේද යනුවෙන් බව දැනගන්නට ඇත. එපමණක්
නොව මෙහිදී ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා එක්වීම සඳහා යොමු කළ ලිපි ලේඛන
සම්බන්ධයෙන් එංගලන්ත ආගමන විගමන බලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කළ බවද පැවැසේ.


එහිදී අදාළ ලිපි ලේඛන සඳහා අස්සන් යොදා ඇත්තේ කවුද කවුරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු
කළේද යනුවෙන් ඔවුන් විවිධාකාරයෙන් අදාළ ලිපි ලේඛනයන්හි නිරවද්‍යතාවය විමසීම සිදු කර ඇති බව සඳහන්ය.

එසේම මෙම කරුණ සම්බන්ධයෙන් එංගලන්ත බලධාරීන් වෙත යම් පාර්ශ්වයක් පෙත්සමක් යොමුකර ඇති බවටද
සැකයක් මේ වන විට පැනනැඟී තිබේ. එවන් පසුබිමක් තුළ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන්
අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයට සහ ශ්‍රී  ලංකාවේ කීර්තිනාමයට
අහිතකර වන අයුරින් එවන් කටයුත්තක් සිදු කිරීමට යමෙක් කටයුතු කර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි
ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් අදාළ තරගාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී  ලංකා කණ්ඩායමේ සාමාජිකයන් 18 දෙනකු
වීසා බලපත්‍ර ඉල්ලුම් කර තිබුණද බලපත්‍ර ලැබී තිබුණේ 10 දෙනකුට පමණි.

(ගමිත දෙහිපිටිය)