construction-stopped

රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනුවක්ම සිමෙත්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය, සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පුර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිකිරීම් කටයුතු නතරවීම නිසා ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6කට වැඩි පිරිසකගේ ජීවනෝපාය දැනටමත් සම්පුර්ණයෙන්ම  පාහේ නතරවී ඇතැයි පෙන්වා දෙන එම සංගමය රැකියා අහිමි වූ මෙම පිරිසෙන් වැඩි දෙනකු පහළ ආදායම් ලැබූ පිරිස් බවද සඳහන් කළේය.



සමාජයේ පහළ ආදායම් ලබන පවුල ලක්ෂ 12කට වැඩි පිරිසක් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුක්ත වෙති. ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතන 1000කට වැඩි ප්‍රමාණයක්ද ඉදිකිරීම් කටයුතු අඩාලවීම හේතුවෙන් මුළුමනින්ම වැසී ගොස් ඇත. සමහර තවත් එවැනි ආයතන වසා දැමීමේ දැඩි අවදානමක් පවතින බව සඳහන් කරන ආරංචි මාර්ග ඇතැම් ආයතන වාහන ඇතුළු විවිධ දේපළ නඩත්තු කිරීමේ නොහැකියාව මත විකුණා දමමින් සිටින බව ද පැවසුවේය.  ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල දිගින් දිගට ඉහළ යාම නිසා සහ ඉහළ මිලට හෝ ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ලබාගත නොහැකිවීම බව ඉදිකිරීම් සමාගම් පවසයි.



ඉදිකිරීම් කටයුතු මෙසේ කඩා වැටීමෙන් දැවැන්ත ව්‍යාපෘති බාර ගත් කොන්ත්‍රාත්කරුවන්ට සියයට 20ක අමතර මුදලක් ගෙවීමට සිදුව ඇතැයි වාර්තා වේ. මේ අතර ගල් කොරි ආශ්‍රිත ජීවත් වූ විශාල පිරිසකගේ රැකියා ද ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩපණ වීම හේතුවෙන් අහිමිවී ගොස් ඇතැයි එම ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පෙන්වා දෙති.


 සුජිත් හේවාජුලිගේ