dambulla-incident

මිට දින හතරකට පෙර ඩුබායි රටේ සේවය කරමින් සිට නිවසට පැමිණි බිරියගේ ගල කපා ඝාතනය කොට සැමියා ද ගෙල වැලලාගෙන මියගිය සිද්ධියක් දඹුල්ල තිත්තවැල්ගොල්ල ප‍්‍රදේශයෙන් ඊයේ (6) වාර්තා වූ බව දඹුල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල්ගොල්ල කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචි ගීතා කුමාරි කරුණාතිලක 42 හැවිරිදි දෙදරු මවකි. ඝාතනය සිදුකළ බවට සැක කරන කාන්තාවගේ සැමියා අනුරලාල් දිසානායක (51) දිවි හානි කර ගන්නා බවට දරුවන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි පොලිසිය කියයි. මියගිය කාන්තාව සැමියාට හොර රහසේ 2019 වසරේ ඩුබායිහි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක සේවයට ගොස් තිබෙන බවත් මෙම කාන්තාව පසුගිය තිස් එක් වැනි දින නැවත ලංකාවට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.



මෙම කාන්තාව සැමියා සහ දරුවන් තිදෙනා පදිංචි නිවෙසට නොගොස් රාත්‍රී කාලයේ නිදා ගැනීම සඳහා එම නිවෙස ආසන්නයේම පිහිටි මවගේ නිවෙසට ගොස් ඇති බව දරුවෝ පවසති. මවගේ නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටිය දී 04 රාත්‍රියේ ලී දණ්ඩක් උපයෝගී කරගෙන නිවෙස පිටුපසින් වහලයට නැග වහලයේ උළු කැට ඉවත් කොට නිවෙසට ඇතුළු වී ඇති සැමියා සිය දරුවා සමග ඇදේ නිදාගෙන සිටි බිරියගේ ගෙල කපා ඉදිරිපස දොර විවෘත කරගෙන පලා ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන දඹුල්ල පොලිසිය කියයි. පසුව මෙම දරුවා අසල්වැසි පිරිසට කතා කොට මේ පිළිබඳව පොලීසිය දැනුවත් කොට තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ මළ සිරුර ඊයේ දින උදෑසන වන විටත් කාමරයේම තිබුණු අතර එදිනම පෙරවරු 09 ට පමණ නිවසේ සිට මද දුරක පාළු වත්තක සැමියා ද ගසක එල්ලී මියගොස් සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.

ගස මුල තිබී ඝාතනයට යොදාගත් තියුණු පිහිය ද සොයාගෙන ඇත. මෙම මරණ දෙක පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සහ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරිමට නියමිතය. මියගිය යුවළට දියණියක සහ පුත්තු දෙදෙනකු සිටින අතර දියණිය විවාහ වී පුතුන් දෙන්නා පාසල් වියේ පසුවෙති. තම පියා හිටපු යුද හමුදා සෙබළෙකු බවද වැඩිමහල් දියණිය කියා සිටියේය. තමන් විවාහ වී සිටින බවත් තමන්ගේ මලනුවන් දෙදෙනා සමඟ පියා නිවසේ සිටි බව ද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
(කාංචන කුමාර ආරියදාස)