රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද දින අධිකරණයේදී නියෝග කෙරුණි. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අධිකරණයේදී මෙම නියෝගය සිදු කලේය.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබූ නමුත් අද (12) විශේෂයෙන් කැඳවූ නඩුවාරයේදී මෙම නියෝගය සිදු විය.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි බදාදා දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් මෙම නිළිය අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසා තිබුණි.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දමිතා අබේරත්න මහත්මියෙග් සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකයා ප්‍රකාශ කළේ අරගලයට සම්බන්ධ කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, සිවිල් හා දේශපාලන ක්රියාකාරිකයන් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරන බවයි. එය කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී පාලනයකින් අපේක්ෂා කළ නොහැකි දෙයක් බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු ආණ්ඩුවකට ජනතාවගේ අයිතිවාසිකම් කඩ කිරීමට ඉඩ නොතිබිය යුතු බවත් කීවේය.
දමිතා අබේරත්න මහ්තමිය ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින අරගල නායකයන් වහාම නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත්, ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් වූ අරගලයට තමා ඇතුළු සමගි ජන බලවේගයේ රටේ ජනතාව සමග එකට සිටගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
මෙම සිදුවීමෙන් පැය කිහිපයකට පසු දමිතාට ඇප ලැබීම විශේෂිතය.
0 Comments