dasun-shanaka-mother-speaks

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් නායකගේ මව වීම ගැන මේ මොහාතේ අම්මට දැනෙන්නේ කොහොමද?

ඇත්තටම ඒ හැඟීම වචන කරන්න හරි අමාරුයි. මොකද මේ අවස්ථාව හැම අම්මෙකුටම ලැබෙන එකක් නෙවෙයි. ඉතින් මට දසුන් ශානකගේ අම්මා වීම ගැන මට හරි ආඩම්බරයි.

දසුන්ගේ පාසල් කාලය ගැන කතා කළොත් ඒ කාලේ දසුන් කියන්නේ මොන වගේ දරුවෙක්ද?

අපි ඉන්නේ කටුවාපිටියේ. ඒ නිසා එයා මුලින්ම ගියේ ගෙවල් ළඟම තිබුණු මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට. ඊටපස්සේ ගියේ මීගමුව මාරිස්ටෙලා කොලේජ් එකට. පාසල් කාලේ ගත්තොත් එයා ඉගෙනගන්න ගොඩක් දක්ෂයි. හරිම කීකරු දරුවෙක්. කොල්ලෙක් වුණාට දගකාරකමක් කියලා එකක් ගෑවිලාවත් තිබුණේ නෑ.

එතකොට එයා ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ කොහොමද?

පුතා මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ඉන්න කාලේ තමයි ක්‍රිකට්වලට යොමුවුනේ. එයා හය වසරේ ඉන්නකොට ක්‍රිකට්වලට කැමති ළමයින්ට ක්‍රිකට් ගහන්න එන්න කියලා. ඉතින් දසුනුත් ගිහිල්ලා. ඒ පෙන්නපු දක්ෂතා එක්කයි එයා ක්‍රිකට්වලින්ම ඉදිරියට ආවේ.



ඉතින් ඒ විදියට ක්‍රිකට්වලට ගිය දසුන් කවදාහරී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා හිතුවද?


මුලදි හිතුවේ නෑ. ඒත් දිගටම දක්ෂතා දක්වද්දි නිකමට වගේ එහෙම හිතුණු වෙලාවල් තිබුණා. මෙයා 13න් පහළ ඉන්නකොට 23න් පහළ මැච්වලට පවා පාසලෙන් එක ගියා. මොකද ඒ කාලේ මෙයා දිගට හරහට ගහනවා. හැබැයි මෙයාගේ හඳහන බලපු වෙලාවක කියැවුණා මෙයා ජාතික කණ්ඩායමට ආවොත් නායකත්වය පවා ලැබෙනවා. කියලා. අන්තිමේ ඒ විදියටම දසුන්ට නායකත්වය ලැබුණා. ඒත් පුතා නායකත්වය නම් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.

දසුන් අද ඉන්න තැනට එන්න මොනතරම් දුෂ්කරතා විදලා තියෙනවද?

දසුන් පොඩි කාලේ එයාගේ තාත්තා හිටියේ පිටරට. මං තමයි එයා ඇස් දෙක වගේ බලාගත්තේ. අපේ පළවෙනි දරුවා හින්දම මමයි දසුන්ගේ තාත්තයි දසුන්ට ගොඩාක් ආදරෙයි. ඒ නිසා එයා දෙයක් ඉල්ලපු පමාවට අපි අරන් දුන්නා. ඒ නිසා දසුන්ට එහෙමට දුෂ්කරතා විඳින්න වුණේ නෑ. හැබැයි අද ඉන්න තැනට එන්න එයා ගොඩාක් මහන්සි වුණා. ඒ වගේම කැපකිරීම් කළා.

එතකොට දසුන් කියන්නේ ඒ කාලේ ඉදන්ම හයේ පහරවල් ගහන්න රුසියක්ද?

(සිනාසෙමින්) අම්මෝ ඔව් ඔව්. මට මතකයි ඉකෝල මැච්වල එහෙම මෙයා තමයි දිගම හයේ පහරවල් ගහන්නේ. සමහර වෙලාවට බෝලේ නතරවෙන්නේ පිට්ටනියෙන් එහා පාරට ගිහින්. ඒ තරම් ලොකු හයේ පහරවල් මෙයා ගැහුවේ. අදටත් ඒක වෙනසක් වෙලා නෑ.

ගෙදරදී හයේ පාරක් ගහන්න ගිහින් අම්මට පොඩි කරදරේකුත් වුණාලු නේද?


(සිනාසෙමින්) ඒක නම් ඇත්ත. ඒ කාලේ ඉඳන්ම බැට් එකයි බෝලයි තමයි දසුන්ගේ අතේ තිබුණේ. ගෙදර හිටියත් කරන්නේ බැට් එක අරන් හයේ ඒව්වා ගහන්න වන වනා ඉන්න එක. දවසක් මෙයා ගෙදර සාලෙට වෙලා බැට් එක වන වනා ඉන්නකොට මං හදිස්සියේ එතැනින් යන්න ආවා. එයා මාව දැක්කේ නෑ. ඒ වෙලාවේ එයා හයක් ගහනවා වගේ වේගෙන් බැට් එක වැනුවා. එකපාරට දසුන් ගහපු පාර ඇවිත් මගේ මුණේ වැදුනා. කොච්චර හයියෙන් වැදුනද කිව්වොත් මට බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ පවා යන වුණා. හැබැයි ඒ වෙලාවේ පුතා මං බදාගෙන ගොඩාක් ඇඩුවා.

එදා වගේම් අදටත් දසුන්ට අම්මා තාත්තා නැතුව බෑ කියන්නේ ඇත්තද?

දසුන්ට අපි විතරක් නෙවෙයි අපිටත් එයා නැතුව බෑ. මොකද දසුන් කියන්නේ අපේ වීරයා. පුතා තාමත් ගෙදරින් යන්නේ මටයි එයාගේ තාත්තටයි වැඳලා. තාත්තා නම් එයාව ඉඹගෙන මිසක් යවන්නේ නෑ. ඒ තරම් ආදරෙයි. එයාට තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලටත් දසුන් පුදුම ආදරෙයි.



පුතා කොච්චර හොඳ දරුවෙක් වුණත් අම්මට එයාගේ නරක පුරුද්දක් එහෙම අහුවෙලා නැද්ද?

(සිනාසෙමින්) මොකද නැත්තේ අහුවෙලා තියෙනවා. ඒ තමයි දැන් එයා ටිකක් බත් කන්න හොරයි. මස් මාළු එහෙම කන්නත් ආස නෑ. ඉතින් ගෙදර ඉන්න දවසට මං කොළකැද එහෙම හදලා දෙනවා. ඒවට නම් එයා ආසයි.


අපි දන්නවා ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ටැටු ගහන්න, කොණ්ඩේ පාට කරන්න වගේ විලාසිතාවලට කැමතියි. දසුන් එහෙම නැත්තේ ඇයි?

එයා ඒ කාලේ ඉඳන්ම කැමති සරලව චාම් විදියට ඉන්න. ඉතින් කවදාවත් එයා ටැටු එකක් ගහන්න ඕන, කොණ්ඩේ පාට කරන්න ඕන වගේ කතා කියලා නෑ.

මේ වෙනකොට පුතා විවාහකයි. ලේලි, වෙවන්ති එහෙම කොහොමද?


අනේ එයා නම් දාහකින් හොයාගන්න බැරි හොඳ දුවෙක්. එයා ගෙදරට එක්ක ආපු දවසෙම මට හිතුණා දසුන්ගේ තෝරාගැනීම හරිම හරි කියලා. එයා දසුන්ට හොඳ බිරිඳක්. ඒ වගේම එයා අපිටත් ගොඩාක්  ආදරෙයි. අපිත් ඉතින් එහෙමයි.


මේ දිනවල කවුරුත් කතා කරන් ආසියා කුසලානය ගැන. රටකම බලාපොරොත්තු ඔබේ පුතාගේ අතේ තිබුනේ, ඒක දසුන්ගේ අම්මට දැනුනේ කොහොමද?

මං කලිනුත් කිව්වා නායකත්වය කියන්නේ එයා බලාපොරොත්තු නොවුණු දෙයක්. ඒත් මොකද්දෝ වාසනාවකට ඒක පුතාට ලැබුණා. දැන් එයා හොඳ නායකයෙක් කියලා ඔප්පු කරලයි තියෙන්නේ. ඉතින් දසුන්ගේ අම්මා විදියට මං මේ වෙලාවේ ගොඩාක් සතුටු වෙනවා එයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයා වීම ගැන.

ආසියනු කුසලානයට යන්න කලින් පුතා අම්මට කියලා ගියේ මොනවද?


එයාලා යන්න ඔන්න මෙන්න තියෙද්දි දුෂ්මන්ත චමීර වගේ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයෝ කීපදෙනක් ආබාධවලට ලක්වුණා. ඒ නිසා පොඩ්ඩක් කලබලෙන් හිටියේ. ඒත් ඉන්න අයගෙන් හොඳම කරනවා කියලයි එයා ආසියානු කුසලානයට ගියේ. මමත් එයාට ඒ වෙනුවෙන් ආශිර්වාද කළා.

ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කළ දරුණු පරාජයකින්. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් එක්ක තිබුණු ඒ මුල්ම තරඟය අම්මා බැලුවද?

බැලුවා බැලුවා. මට හිතාගන්න බැරිවුණා. මොකක්ද අපේ අයට එදා වුණේ කියලා, මේ අපේ කණ්ඩායම් ද කියලත් හිතුණා. මං එදාම දසුන්ට කෝල් එකක් අරන් කිවුවා අද පැරදුණු එක අමතක කරලා ඊළඟ තරඟය හොඳට සෙල්ලම් කරන්න.එකත්  පැරදුණොත් අපි එළියේ කියලා. ඒ වෙලාවේ දසුන් කිව්වා අම්මේ ඒක අපි කොහොම හරි ගහනවා කියලා.

හැබැයි බංග්ලාදේශය එක්ක තිබුණු තීරණාත්මක තරගයත් දිනුවේ අන්තිම මොහාතේ. එදා ජයග්‍රහණය පෙනි පෙනී දසුන් ලකුණු 45කට අවුට් වෙලා යද්දී අම්මට මොකද හිතුණේ?

මා හිතුවේ නෑ ඒක අවුට් කියලා. මං කෑගැහුවා ඒක හයේ පාරක් කියලා. හැබැයි ඒක කැච් එකක්. ඒ වෙලාවේ මට හිතුණා තරගය පරාජය වෙයිද කියලත්. මොකද නම් දරපු පිතිකරුවෝ ඒ වෙලාවේ හිටියේ නැනේ. ඒත් අන්තිමේ අසිත ප්‍රනාන්දු තරගය ලස්සනට ඉවර කළා.

අම්මා දකින විදියට දසුන් ක්‍රීඩාපිටියේ කරන ලොකුම වැරැද්ද මොකක්ද?

එයා ටිකක් කලබලයි. මං හැමදාම කියනවා එයා බැට් කරන්න ගියාම පුතේ බෝල් හතරක් පහක් බලලා ඊට පස්සේ ගහන්න කියලා. මොකද එයා හැම තරගයකම ලකුණු ගහනවා බලන්න මං ආසයි. ඒත් කියන එක අහන්නේම නැ , නිකරුණේ කඩුල්ල පූජා කරලා එනවා. ඉතින් දසුන් බැට් කරන්න යන වෙලාවට මගේ ඇගේ ලේ නෑ.



ආසියානු කුසලානයේදී පුතා වාර්තා කිහිපයක් තිඛා, ඒ ගැන අම්මා දැනුවත්ද?


දසුන් මට ඒ ගැන කිව්වා. මේ වෙනකොට එයා තමයි ශ්‍රී ලංකාවට වැඩිම විස්සයි විස්ස තරග ජයග්‍රහණයන් ප්‍රමාණයක් අරන් දීපු නායකයා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහරවල් ගහලා තියෙන්නෙත් එයා. ඉතින් ගොඩාක් සතුටුයි.

දසුන් නායකයා වුණු දවසේ ඉදන් ශ්‍රී ලංකා ක්‍රිකට් හාට් ඇටෑක් හැදෙන තත්වයට පත්වෙලා කියලා අම්මට හිතිලා නැද්ද?

(සිනාසෙමින්) අම්මෝ ඒක නම් ඇත්ත. හැමෝම කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට්නම් හාට් ආටැක්ම  තමයි කියලා. මොකද අන්තිම  වෙනකල් හිතාගන්න බෑ තරගය දිනයිද  පැරදෙයිද කියලා. ඉතින් ක්‍රිකට් තරග බලන හැමෝම මැව් බලන්නේ ඇගේ ලේ නැතුව.දසුන් නායකයා වුණු දවසේ ඉඳන්ම ඒක එහෙමයි.

අවසාන වශයෙන් කියන්න ආසියා කුසලානයෙන් පස්සේ විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වනවා. දසුන් ඇතුළු කණ්ඩායම දෙයක් කරයිද?

ඔව් එයා නිතරම කියනවා ඊළඟ ලෝක කුසලානය කොහොමහරී ලංකාවට අරන් එනවා කියලා. එයා එක්ක හොඳ කණ්ඩායමක් දැන් ඉන්නවා. මමත් හිතනවා පුතා ඒක කරයි කියලා. මමත් ආශිර්වාද කරනවා අපේ ළමයින්ට ඉදිරී විස්සයි විස්ස ලෝක කුසලානය අපේ රටට අරන් එන්න ශක්තිය ධය ලැබේවා කියලා. මේ වෙනකොට මුළු රටේම එකම ආශිර්වාදයත් ඒක තමයි.

සාකච්ඡාව - රුවන් එස්.සෙනවිරත්න (ධරණී)