education-retirement-change

විශ්‍රාම වයස් සීමාව අවුරුදු හැට දක්වා අඩු කිරීමෙන් පසු විශ්‍රාම යාමට නියමිත අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් හා ගුරුවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ යම් කාලයක් තවදුරටත් සේවයේ තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.





ඒ අනුව නව විශ්‍රාම වයස් සීමාව අනුව මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් විශ්‍රාම යන අධ්‍යාපන පරිපාලන සේවයේ , විදුහල්පති සේවයේ, ගුරු අධ්‍යාපනඥ සේවයේ මෙන් ම ගුරු සේවයේ ද සියලු නිලධාරීන් පිළිබඳ ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් කැඳවනු ලැබ ඇත.

ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් එකවර විශ්‍රාම යාමෙන් ඇති විය හැකි බලපෑම අවම කර ගැනීම ඉහත තීරණයට හේතු වී ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දහනවයෙන් හතකම පීඨාධිපතිවරු, එම පීඨවල ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් මෙන්ම උසස් පෙළ ජ්‍යෙෂ්ඨම ගුරුවරුන් මේ යටතේ එකවර විශ්‍රාම යාම අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී තිබේ. විශේෂයෙන් උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශවල ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් එකවර විශ්‍රාම ගැන්වුවහොත් බරපතළ තත්ත්වයක් ඇති වනු ඇති බව අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

එහෙයින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් මෙන්ම ගුරුවරුන් තවදුරටත් සේවයේ තබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බවද ඇමැතිවරයා කීවේය.

නව වයස් සීමාව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම පළාත් සභාවන්හි ද ඉහළම නිලධාරීහු රැසක් විශ්‍රාම යති.

(නිලන්ත මදුරාවල)