egg-chicken-chortage

 මවු කිකිළියන් ආනයනය කරන ප්‍රමාණය 2021 වසරේදී 80,000ක් වුවද, මෙම වසරේ මේ දක්වා එය 7,000ක් දක්වා අඩුවීම හේතුවෙන් ඉදිරි කාලය තුළදී බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇති විය හැකි බවට එම කර්මාන්තකරුවන් විසින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පෙන්වාදී තිබේ.



ඔවුහු සඳහන් කර ඇත්තේ, සත්ව ආහාර හිඟය සහ ඒවායෙහි මිල ගණන් ඉහළ යාම මෙම සතුන්ට ලබාදෙන ඖෂධ හා විටමින්වල මිල ඉහළ යාමද මීට හේතු වී ඇති බවයි. එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පළ කර ඇති බිත්තර මිල පාලන ගැසට්පත්‍රය හේතුවෙන් තම කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාවැටීමේ තර්ජනයකට ලක්ව ඇති බවද කර්මාන්තකරුවන් පෙන්වාදී ඇත.

කෙසේ වුවද සත්ව ආහාර සැකසීමට යොදාගන්නා බඩඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් මේ වනවිට විදේශයෙන් ආනයනය කර ඇති සහල්වලින් කොටසක් ලබාදෙන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ. මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාත්තය රැකගැනීම සඳහා වූ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ එම කර්මාන්තකරුවන්ගේ සංගමය අතර ඊයේ (12දා) පැවතිණි.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ , මෙම වසරේ ජූලි මාසය වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අඩු වී ඇති බවයි.

කෙසේ වුවද මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවැතුණ බව මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සපයමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය. එම අමාත්‍යංශය පෙන්වා දුන්නේ,

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සත්ත්ව ආහාර මිල ඉහළ යාමත් එසේ පසුගිය වසරේ මහ කන්නයේදී පැවති රසායනික පොහොර තහනම හේතුවෙන් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටීමත් සත්ත්ව ආහාර හිඟයට හේතු වී ඇති බවයි. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යන ආයතන එක්කර මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘෂිකර්ම අමාතයංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.


 (නිදර්ශනී වික්‍රමසිංහ )