fake-police

හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙසීයක් සන්තකයේ තිබූ බවට පනස් හතර වගන්තිය ප්‍රකාරව පල්ලෙවෙල පොලීසිය පවරා තිබූ නඩුවකින් සැකකරු නිදහස් කිරීමට පෙරේදා (26දා) පස්වරුවේ නියම කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ පොලිස් නිලධාරියාට සැකකරු වෙනුවෙන් රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් ගෙවීමට නියෝග කළාය.  පල්ලෙවෙල පොලීසිය විසින් ගන්කන්දන්ගේ සජිත් ප්‍රියංකර නමැත්තෙකුට එරෙහිව ගොනු කොට තිබූ බී වාර්තාවකට අනුව අධිකරණය මගින් ඔහු රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි.



පෙර දිනයේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේ පල්ලේවෙලපොලීසිය විසින් මූලික සාක්කි වශයෙන් ලාකඩ මත සැකකරුගේ ඇගිලි සලකුණු යොදා ඇති බව කියන හෙරොයින් අඩංගු ලියුම් කවරයක් අධිකරණයට ඉදිරිපත් කළේය.  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදය කුමාර විතානගේ මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට නොගත් බවත්, ලියුම් කවරයේ ලාකඩ මත සැකකරු ඇගිලි සලකුණු යොදා නොමැති බැවින් ලියුම් කවරයේ ඇගිලි සලකුණු සැකකරුගේ නොවන බවත්ය. මෙහිදී නීතිඥවරයාගේ කරුණු දැක්වීම සලකා බැලූ මහේල්ස්ත්‍රාත්වරිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය හා නීතීඥ උදය කුමාර විතානගේ මහතා ඉදිරියේ සැකකරුගේ ඇගිලි සලකුණු ලබාගන්නා ලෙසට උසාවී පොලිස් සැත්වරයාට නියෝග කළාය.



එම නඩුව පෙරේදා (26දා) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මූලික සාක්කි වශයෙන් සැකකරුගේ ඇඟිලි සලකුණු බවට අධිකරණයට ඉදිරිපත් කොට ඇති ලාකඩ මුද්‍රාව සහිත ලියුම් කවරයේ ඇති ඇඟිලි සලකුණු සැකකරුගේ ඇගිලි සලකුණු හා සමාන නොවන බවට ඇගිලි සලකුණු පරික්ෂකවරයාගේ වාර්තාවේ සඳහන් වී තිබේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරු නිදහස් කර අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 17/01 උපවගන්තිය ප්‍රකාරව සකකරු වෙනුවෙන් රුපියල් විසි පන්දහසක වන්දි මුදලක් ගෙවන ලෙසට පැමිණිල්ලේ විමර්ශන නිලධාරියාට නියෝග කළාය.පැමිණිල්ලේ විමර්ශන නිලධාරියා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි හෙයින් වන්දි මුදල නිදහස් කරන ලද සැකකරුට ගෙවීම ඔක්තෝබර් මස 26වැනිදාට කල් තැබිණි.
ආනන්ද ඉ ජයකොඩි