gazette-reverse-colombo

කොළඹ නගරයේ විශේෂ ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස්දී ඇති බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් පසුගියදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය .මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව වාර්තා විය.

නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල විය හැකි යැයි ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

කොළඹ නගරය තුළ වරින් වර ඇති වන උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධිආරක්ෂිත කලාප නම් කිර්ම හරහා වෙනත් ගැටලු ඇති විය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වාදී තිබේ. ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධ කර ගනිමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂක අමාත්‍යංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය. අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.

(නවෝද්‍යා පවනි)