ළමා හා කාන්තා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සමග කාන්තා පුවත්පතක් කළ කතාබහක් පහත දැක්වේ.
බාලවයස්කාර දැරියන්ව අතවරයට ලක්කිරීම දැන් වැඩියි. නඩුත් දුරදිග යනව මිස විසඳුම් නැහැ. මේවාට අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?
''ඔය කතාව සම්පූර්ණ ඇත්ත. අතවරයට ලක්වුණු සමහර දැරිවියගේ නඩු අවුරුදු දහය දොළහ ඉදිරියට ඇදෙනවා. ඒ වෙනකොට සමහරක් ගෑනු දරුවෝ කසාද බඳින වයසටත් ළංවෙලා. මම කියන්නේ මුලින්ම මේ නඩු අවුරුදු ගණන් දික් වෙන්නේ නැති විදියට නීති සම්පාදනය කරන්න ඕන. මොකද මේවා කාලාන්තරයක් තිස්සේ ඇසිය යුතු නඩු නෙවෙයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් මට හැකි උපරිමය කරන්න උත්සාහ කරනවා. හැබැයි මේවා මට තනියම කරන්න හැකියාවකුත් නෑ. මොකද පොලිසිය තියෙන්නේ වෙන අමාත්‍යංශයකට. අධිකරණය තියෙන්නේ තවත් අමාත්‍යංශයකට. ඒක නිසා ඉස්සරහට මේ ගැන අධිකරණ අමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ඉහළ නිලධාරින්න එක්ක සාකච්ඡා කරලා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.''
අදටත් පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සහ තරුණියන්ව හිංසනයට ලක්වන අවස්ථා තියෙනවා ?
'' මම තාමත් ඇමතිවරිය විදියට පත්වෙලා සතියක් වගේ කාලයක්. හැබැයි මේ වෙනකොටත් මම ඔය කියන හැම පැත්තක් ගැනම හොඳ අවධානයකින් ඉන්නේ. ගොඩක් පිරිමින්ට බස්වලට නැග්ගම හරියට නින්ද යනවා. ඇඟපත පණ නැතිවෙලා ලස්සන ගෑනුන්ගේ වාරුව හොයනවා. ඕවාට ගෑනු උදවිය විරුද්ධ වෙලා කතා කරහම එහෙනම් බස් එකෙන් බැහැලා බෙන්ස් එකක යන්න කියලා අපහාසාත්මක විදියට කතා කරනවා. ඉතින් ඉස්සරහට ඒවාට ලේසිවෙන එකක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.''
සමහරු කියනවානේ ස්ත්‍රී දුෂණ වැඩිවන්නේ කාන්තාවෝ කොටට අඳින නිසා කියලා. ඔබත් එහෙම හිතනවද?
''මොන පිස්සුද ? ඒහෙනම් ඔය මුහුදු වෙරළකට ගිහාම සංචාරක කාන්තාවෝ බිකිනිය ඇඳගෙන, ඊට උඩින් රෙදි කෑල්ලක් පටලගෙන නිදාගෙන ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ගැහැනුන්ගේ ඇඳුම්වල නෙවෙයි. පිරිමින්ගේ ආකල්පවල. ''
ගෙදරදී ගුටිකන කාන්තාවෝ ඒ ගැන පැමිණිලි කරන්න පොලිසියට යනවා. හැබැයි ගෙදර ආවම පොලිසි ගිය නිසා ආපහු පාරක් ගුටි කන්න වෙනවා. මේ වගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් දෙන්න බැරිද?
ඕනම බිරිඳක් තමන්ගේ සැමියට විරුද්ධව පොලිසියට යන්නේ ඉවසලා ඉවසලා බැරිම තැනනේ. අදටත් ගවල රෑ දෙගොඩහරීයේ කට ගොන්නක් බීගෙන ඇවිල්ලා අසරණ ගෑනුන්ට ගහන පිරිමි එමටයි. ඒ වෙලාවට ගොඩක් ගෑනු උදවිය කරන්නේ රෑට කැලේ පනින එක. නමුත් අර කලින් කිව්වා වගේ පොලිසි ගියොත් තවත් ගුටි කන්න වෙයි. කියන බයට රෑ එළිවෙනකන් කැලේ ඉඳලා උදේ මනුස්සයාගේ වෙරි හිදුනම හිමින් සීරුවේ ගෙට ගොඩවෙන බිරින්දෑවරු ඉන්නවා. ඒ නිසා මම තීරණය කළා ඒ අයට ඉන්න තැනක ඉඳලා කතා කරලා තමන්ගේ ප්‍රශ්න කියන්න විශේෂ දුරකතන අංකයක් හඳුන්වලා දෙන්න. අනික ඕනම වෙලාවක ගෘහස්ථ හිංසනයට ලක්වෙන කාන්තාවක් ඉන්න තැනකට ගිහින් එක්කන් එනත්,ගෙනැල්ලා නවාතැන් පහසුකම් දෙන්න පොදු ස්ථාන කිහිපයක් සූදානම් කරන්නත් මම කටයුතු කරනවා.''
ඔබ ඔහොම කිව්වට අපිට මතකයි පහුගිය කාලේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒක මන්ත්‍රීවරයෙක් වම්බටු කතාවක් කියලා මන්ත්‍රීවරියකට අපහාස කළා. ඒ වනකොට ඇමතිවරියක් නොවුණත් ඔබ පාරිලිමේන්තු මන්ත්‍රීවරියක්. මොනවද ඒ වෙනුවෙන් කළේ?
''මං පිළිගන්නවා ඒ කියපු කෙනා ව්‍යගයෙන් හරි අසභ්‍ය යෝජනාවක් තමයි එතුමියට එදා කළේ. නමුත් ඇමතිකමක් නොතිබුණාය කියලා මම එදත් කට වහගෙන හිටියෙ නෑ. ඇය වෙනුවෙන් පෙනී හිටියා. අනික මමත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසාම ඒ ගැන කියලා කතානායකවරයාට යවපු ලිපිවලටත් අත්සන් කළා. ''
දේශපාලනයට එන්න කලින් ඔබ ප‍්‍රසිද්ධ සිනමා නිළියක් වගේම ව්‍යාපාරිකාවක්. මේ ආපු ගමනේදී කාන්තාවක් විදියට ඔබවත් හිංසනයට ලක්වුණ අවස්ථා තියෙනවද?
'' වාසනාවකට එහෙමනම් වෙලා නෑ. මම සිනමාවට ආවේ අවුරුදු දාහතේදි විතර. ඒ කාලේ මගේ අම්මා මගේ පස්සෙන්ම හිටියා. අනික මම රංගනයට ආවේ අමාරුවෙන් පොඩි පොඩි චරිත රඟපාලා හෝ රස්තියාදු වෙලා නෙවෙයි. ඒ වගේම කවුරුත් මට හිතවත්කවලට චරිත දුන්නෙත් නෑ. මගේ හැකියාව සහ පෙනුමට මාව ඕනම නිසයි. මාව ගත්තේ.''
මෑතකදී මිල ඉහළ ගිය සනීපාරක්ෂක තුවාවල බද්ද ඉවත් කරලා මිල අඩු කරන්නත් ඔබ කටයුතු කළාය කියන්නේ ඇත්තද?
''ඇත්තටම ඔව්. මම ඇවිල්ලා දවස් තුනක් වගේ කාලයක් ඇතුළත තමයි මේ සිද්ධිය වුණේ. ඒ නිසා මම ඒ ගැන කියලා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා. මොකද මේක මේ යුගයේ අවශ්‍යතාවයක්. ඒ නිසා ලංකාවේ නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවාවල බද්ද අයින් කරලා මිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ''
ගැබිනි මව්වරුන්ට කලින් ලබලා දීපු රුපියල් දෙදාස් පන්සීය රුපියල් පන්දහසක් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
''ඇත්තටම අපි කලිනුත් තෝරාගත්ත අඩු අදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට රුපියල් දෙදාස් පන්සීයක දීමනාවක් දුන්නා. නමුත් දැන් තියෙන ආර්ථිකයත් එක්ක ඒ අයට ඒක මදි බව අපිට තේරුම් ගියා. ඒක නිසා ඒ දිමනාව තවත් රුපියල් දෙදාස් පන්සීයකින් වැඩි කළා. ඒ වගේම දරුවා ලැබුණට පස්සේ කිරි දෙන්න අවශ්‍ය නිසා එතැන ඉඳලත් මාස පහක් ඉස්සරහට වෙනකල් මේ දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා....''
අවසාන වශයෙන් කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොකද්ද?
පැහැදිලිවම කියන්න තියෙන්නේ මෙච්චරයි. කාන්තාවක් වුණහම නිසි වයසට ආවහම තනියම හම්බකරගෙන කාලා ජීවත්වෙන්න පුරුදු වෙන්න. ගැහැනියෙක් වෙලා ඉපදුණාය කියලා මුළු ජීවිත කාලෙම සැමියාගෙන්, තාත්තාගෙන්, සහෝදරයාගෙන් යැපෙන්න ඕන කියලා නියමයක් නෑ. ඒ වගේම ඉගෙනගන්න කාලෙදිම ඔය ටික අපේ ගෑනු දරුවන්ගේ ඔලුවට කාවද්දන්න නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය විදියට කරන්න විශාල වැඩ කොටසක් ගැන මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට මම ඒ දේවල් ක්‍රියාවට නංවන මගේ උපරිමයෙන් කටයුතු කරනවා.
(සංවාදය - ලිහිණි මධුෂිකා - ධරණී)
0 Comments