girandurukotte-osu-uyana

වැටුප් වශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 12ක මුදලක් ගෙවා සේවකයන් 28 දෙනෙකු විසින් නඩත්තු කළ ගිරාදුරුකෝට්ටේ ඔසු උයන තුළ අලෙවි කර ඇත්තේ පැළ 50ක් පමණ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි. මෙම තත්ත්වය මත දිවයින පුරා පිහිටි ඔසු උයන් පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

මීට අමතරව නාවින්න ආයුර්වේ ද පර්‌යේෂණාගාරය තුළ පෞද්ගලික අංශයට අවශ්‍ය පර්‌යේෂණයන් කිරීමට අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.
මෙම පර්‌යේෂණාගාරය තුළ පර්යේෂණයන් සඳහා භාවිත කරන උපකරණ රාශියක් පවතින නමුත් පුහුණු ශ්‍රමිකයන් නොමැති බැවින් ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම මෙතෙක් සිදුව නොමැති බවද හෙතෙම පෙන්වා දෙයි. ඒවා නිසි ප්‍රයෝජනයට ගැනීමට පෞද්ගලික අංශය‌ට ලබා දීමට තීරණය කළ බව ඇමැතිවරයා සඳහන් කරයි. මේ සඳහා කිසියම් මුදලක් අයකර ආයතනය සතුව උපකරණ පර්‌යේෂණ කටයුතු සඳහා ලබා දීමට මේ වන විටත් සොයා බලමින් අවශ්‍ය කටයුතු කරමින් පවතින බව ඇමැතිවරයා පැවසීය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1961 අංක 31 පනත මගිනි. ඔසු උයන් වගා ඇති කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වගකීමකැයි එහි කියැවේ. ඒ අනුව හල්දුම්මුල්ල, පට්ටිපොළ, පල්ලේකැලේ, ගිරාඳුරුකෝට්ටේ සහ නාවින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු ඔසු උයන් පිහිටා තිබේ. ලොකුම උයන අක්කර 165ක විශාලත්වයෙන් යුතු ගිරාඳුරුකෝට්ටේ ඔසු උයනයි.


ශ්‍රියානි විජේසිංහ