gotabaya-back-sri-lanka-mirihana

දැනට පළාගොස් තායිලන්තයේ සැඟවී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (03)  ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතය. ඔහු එලෙස පැමිණෙන්නේ මේ වනවිට රාජපක්ෂවරුන් ඉල්ලා සිටි පරිදි විරෝධතාවන් පාලනය කිරීමෙන් පසුවය.
කෙසේ වෙතත් ගෝඨාභය එසේ පැමිණියත් ඔහුට පෙර පැවති ආකාරයට මහජන ප්‍රසාදය නොමැති අතර පරාජිතයෙකු ලෙස ජිවත්වීමට සිදුවනු ඇති බැවින් එය වැළැක්වීම පක්ෂයට වැදගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කල්පණා කර තිබේ. පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන අදහස් දක්වා ඇති අභ්‍යන්තර කණ්ඩායම හෙට (03) දිනයේ ගෝඨාභය ‘වීරයෙකු‘ ලෙස පිළිගැනීමට කටයුතු සූදානම් කර ඇතැයිද ඔහු කටුනායක සිට මිරිහාන නිවස දක්වා කැඳවා ඒම උත්සව ශ්‍රීයෙන් සිදුකරන පිළිගැනීමක් ලෙස සංවිධානය කරඇතැයිද වාර්තා වේ.
මින් ඉහත පොදු ජනතාව ගාලු මුවදොරට පැමිණියේ ගෝඨාභය එළවා දමන්නට වුවත් පසුගිය දිනවල සිදු කළ මර්දනකාරී පිළිවෙතින් පසු එවැනි ජන නැගිටීමක් යලි උදානොවනු ඇතැයි පක්ෂය කල්පණා කර තිබේ.



විශේෂයෙන්ම මහජන විරෝධයක් මත ලෝකයේම අවධානය දිනාගනිමින් රටින් පැනයාමට ගෝඨාභය රාජපක්ෂට සිද්ධවීම මත එම පක්ෂයේ ඉදිරි මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා තීරණාත්මක වී ඇති අතර එම අපකීර්තිය සෘණාත්මකව බලපාන බව සමීක්ෂණ මගින් හෙළිව ඇත. පොහොට්ටු මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම අහිමිවූ කීර්තිය රාජපක්ෂ පවුලට පමණක් නොව පක්ෂයේ සියලු සාමාජිකයින්ට ඉදිරි ඡන්ද දිනාගැනීම අපහසුකරවන ලෙස බරපතල ලෙස බලපා ඇති බවයි.

ඊට පිළියමක් ලෙස නැවත පැමිණෙන හිටපු ජනපතිවරයා පැත්තකට තල්ලු නොකර ඉහළ පිළිගැනීමකට ලක්කිරීම මගින් ඔහුට අහිමිවූ කීර්තිය යළි ලබාදෙන්නට හැකිවෙතැයි පක්ෂය කථාබස් කර තිබේ.


ගෝඨාභය  ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ‘අග්‍රාමාත්‍ය ධුරය‘ භාරදීමටද පසුගිය දිනවල තහවුරු නොකළ ආරංචි පැතිර ගියේය.
පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට කැමතිද යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට  පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ,
“අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා. “

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ප්‍රකාශ කළේ,

“ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ.”
යනුවෙනි.
පක්ෂය ගොඩගැනීමේ ක්‍රියාවලියක් ලෙස මෙන්ම අරගලයේ ජයග්‍රහණ කණපිට හැරවීමේ වෑයමක් ලෙස යලි ගෝඨාභයට ඉහළ පිළිගැනීමක් ලබාදීමට ඒ අනුව තීරණයවී ඇත.