gotabaya-welgama

“වමේ බලවේගය බොහෝම ශක්තිමත්. හැමවෙලේම අපි දිනුවේ වමේ බලවේග එකතු වෙලා. අපිට මේ ගමන යන්න පුළුවන්. විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හා පොහොට්ටුවේ අය වෙන වෙනම ගියාට කවදහරි දවසක අපි ඔක්කොම එකතු වෙන දවසක් එනවා.’’ යැයි නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පැවසීය.

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය බත්තරමුල්ලේදී ඊයේ (05 වැනිදා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ආගමික වතාවත් වලින් අනතුරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග සහ පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම විසින් කේක් කපා පක්ෂ කාර්යාලය නිල වශයෙන් විවෘත කරන ලදි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද්‍රිමිත්‍ර ඒකනායක සහ හිටපු ඇමැති ජීවන් කුමාරණතුංග ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා මෙසේද පැවසීය.

“මම සාමාන්‍යයෙන් අනාවැකි කියන කෙනෙක්. ඒ නිසා අද මම කියනවා ඉදිරියේදී අපි විශාල ජයග්‍රහණයක් ලබනවා කියලා. අපේ මේ පක්ෂය සඳහා සියලු අනුශාසනාවන් හා ආශිර්වාදයන් ලැබෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගෙන්. ඇය නියමිත කාලයේ දී ජනාධිපතිනිය වෙලා නියමිත කාලයේ දීම විශ්‍රාම ගියා. වෙන කවුරුත් එහෙම කළේ නෑ. ඇයට තිබුණා අවශ්‍ය නම් තුන්වැනි වතාවටත් සංශෝධනය කරලා ඉදිරිපත් වෙන්න. එහෙම ආවා නම් අද මහින්ද රාජපක්ෂ නෑ. ඇය කිසිම ලෝභයක් නැතුව එහෙම කරපු නිසා තමයි මහින්ද රාජපක්ෂට ඒ පුටුවේ ඉඳ ගන්න ලැබුණේ. මහින්ද රාජපක්ෂ බොහොම හොඳ චරිතයක් වුණාට රටට වැඩිය පවුලටයි ලැදියි.

ගෝඨාභය රාජපක්ෂ වසර දෙකකට අඩු කාලයක් තුළ ජනාධිපතිකම අතහැරලා දාලා උමං මාර්ගයෙන් මේ රට දාල ගියා. දැන් එතුමා නැවතත් ඇවිල්ල තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න, දේශපාලනයට නම් එන්න එපා. ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ. ඔබතුමාට හොඳ පිංවන්ත බිරිඳක් ඉන්නවා. ඇයත් සමග තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටිය නම් හොඳයි. අනුන්ගේ රැවටිලි වලට අහුවෙන්න එපා. මොකද අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපේ කටවල් හොඳ නැහැ. අපි මොනවා කියයිද දන්නේ නෑ.

මේ අර්බුදය විසඳන්න එතරම් ලේසි නෑ. මම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ දී පැවසුවා ඔබතුමාට මේ ගමන යන්න පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ අය ඉඩ දෙන්නෙ නෑ කියලා. එතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට ඔවුන් බොහොම වෛරයෙන්, ක්‍රෝධයෙන් හා ඊරිසියාවෙන් ඉන්නේ. එක මන්ත්‍රි ධුරයක් වත් නැති රනිල් ජනාධිපති වුණා. මන්ත්‍රි ධුර තුනක් තියෙන දිනේෂ් අගමැති වුණා. ජනාධිපතිතුමන්ට මම බොහොම කරුණාවෙන් කියනවා මේ දවස් ටික බොහොම හෙමින් යන්න. තව වැඩි කල් නෑ ඔබතුමාට හොඳ බලයක් තියෙනවා. පෙබරවාරි 25 වැනිදාට පස්සෙ රාජපක්ෂලා ගෙදර යන අවස්ථාව තමුන්නාන්සේලාට දැක ගන්න ලැබෙනවා.



අද මම මන්ත්‍රිවරයෙක් වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මට ටිකට් එක දීපු නිසා. මට වෙනත් පක්ෂයක් හදන්න එතුමා ලියුම දුන්නා එතුමාගෙ පක්ෂයෙන් මාව නිදහස් කලා කියලා.’’

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද මෙසේ අදහස් දැක්වූවාය.

“අද සිට වැඩ කටයුතු ආරම්භ කරන මේ පක්ෂයට පළමුවෙන්ම මම සුබ ප්‍රාර්ථනා කරනවා. මම අද මේ සඳහා සහභාගි වෙන්නේ ආරාධිත අමුත්තෙක් හැටියට පමණයි.

මීට පස්සෙ අපේ රටේ දේශපාලනය කරන්න බෑ, මාස හතරක් තිස්සේ ගෝල්ෆේස් පිටියේ, නගරවල, හංදිවල හා පාරවල් ගානේ අරගල කරපු ඒ තරුණ තරුණියන් සහ මුළු රටේම අරගලකරුවන් අමතක කරලා. පසුගිය වසර විස්ස විසිපහ කාලයේදී සම්පූර්ණයෙන් විනාශකාරී පාලන දෙකක් මේ රටේ ආණ්ඩුව බවට ක්‍රියාත්මක වීමෙන් පසුව රටේ විනාශය අපේ ජනතාව බලාගෙන හිටියා. ලාංකීය ජනතාව දිගු කලක් දුක දාරාගෙන ඉඳලා හිටපු ගමන් පුපුරනවා. 1977 වෙනකම් මේ රට පාලනය කලේ වැදගත් මිනිස්සු. ඊට පස්සෙත් සැරින් සැරේ හිටියා. මගේ පාලනයත් ඒ අතරේ තිබුණා. 2005න් පසු මේ රට පාලනය කල අය හිතුවේ අපිට මිනිස්සු ජන්දය දුන්නාම අපිට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් සමීක්ෂණ අනුව මුළු රටේම ජනතාව 90% ක් පාරට බැහැලා කිව්වා ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියලා.

අපේ සභාපතිතුමා කිව්වා සියලුදෙනා එකට එකතු කර ගත යුතුයි කියලා. හැබැයි මම එතැනට පොඩි කොන්දේසියක් ඉදිරිපත් කරනවා. හොරු ටික නං එකතු කරන්න එපා. දණින් වැටිල ඇවිල්ල කිව්වත් එන්න අවශ්‍යයි කියලා ඒගොල්ලෝ තෝරලා බේරලා ගන්න. අමතක කරන්න එපා අර තරුණ තරුණියන් බලාගෙන ඉන්නවා හැම තැනම. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයෙන් ඒගොල්ලො පොලීසියෙන් ඇද ගෙන යනවා, ප්‍රශ්න කරනවා. මම පෞද්ගලිකව සමහරුන් දන්නවා. ඔවුන් ගෙවල් ගිනි තියපු අය නොවෙයි. ඒගොල්ලන් බය කරාට ඔය සටන ඔතනින් ඉවර වෙන්නේ නෑ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය හිතන්නේ අවුරුදු පහේදී ජනතාව ගැන හිතන්නේ නැතිව පුළුවන් තරම් හූරගෙන තමුන් හැදෙන්න. මේක දෙවියන් විසින් අපිට උගන්වපු පාඩමක්’’


(දිනේෂ් රූපසිංහ - පිළියන්දල)