grade-9-female-student-cigar

ආණමඩුව නගරයේ ප්‍රධාන පෙළේ පාසලක 9 ශ්‍රේණියේ සිසුවියක තවත් සිසුවියන් දෙදෙනකු සමග පාසලේ වැසිකිළියක දුම්වැටියක් උරමින් සිටියදී විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හමුවිමත් සමග සිසුවියන් තිදෙනාගේ මව්පියන් පාසලට කැඳවා දැඩි අවවාද කර පන්ති තහනමකට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට 9 වැනි ශ්‍රේණියේ සිසුවියක තම පියා නිවෙසට රැගෙන විත් තිබූ දුම්වැටි කීපයකින් එකක් රහසේ පාසලට රැගෙන ඒමෙන් පසු මෙලෙස පාසලේ වැසිකිළියක උරමින් සිටියදී අල්ලා ගැනීමට විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලයේ පිරිසක් කටයුතු කර ඇති බව කියයි.

දුම්වැටිය පාසලට රැගෙන ආ සිසුවිය තවත් සිසුවියන් දෙදෙනකු ද සමග වැසිකිළියට යන බව පවසමින් පැමිණ එහිදී දුම්වැටිය පත්තු කර උරා ඇති බව කියයි. පසුව මෙම සිසුවියන්ගේ මව්පියන් පාසලට කැඳවා දැඩි අවවාද කර ඔවුන් තිදෙනාට තාවකාලික පන්ති තහනමක් සිදුකිරීමට කටයුතු කර තිබුණි. මෙම සිසුවියන් තිදෙනාගේ මව්පියන් ආරක්ෂක අංශවල හා රජයේ සේවයේ නියුතු අය බව ද මෙහිදී අනාවරණය වී තිබිණි.  මේ පිළිබදව අදාළ පාසලේ විදුහල්පතිවරයා දුරකතනයෙන් කළ විමසීමේදී පවසා සිටියේ සිදුවීම සත්‍ය බවත් ඒ පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.