ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ නදුන් චිත්තක හෙවත් 'හරක්කටා' නමැත්තා මෙරටට පිටුවහල් කිරීම වැළැක්වීමට සහ ඔහු මුදාගැනීමට මෙරට නීතිඥ කණ්ඩායමක් ඩුබායි රාජය බලාගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔවුන් බොහෝ දෙනෙකු කනිෂ්ඨ නීතිඥයන් බවද වාර්තා වේ. හරක්කටා පිටුවහල් නොකරන ලෙසට මෙම නීතිඥවරුන් එරට අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සූදානමින් සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියයි. පානදුර ප්‍රදේශයේ මහ පරිමාණ මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැගව සිටින සලිදු නමැත්තා මෙම කටයුත්තට මූලිකත්වය ගෙන කටයුතු කරන බවද ආරංචි මාර්ග පවසයි.
මෙම නීතිඥ කණ්ඩායම් එරට මානව හිමිකම් සංවිධාන හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධාන වෙත කරුණු දැක්වීමට නියමිතව සිටින බවට වාර්තා වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට ප්‍රථම ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් නමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමට සිදු වූ බවත්, හරක්කටා නමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව එරට අධිකරණයට හා මානව හිමිකම් සංවිධානවලට පෙන්වාදීමට මෙම පිරිස සූදානම්ව සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා බිරිඳ ඇතුළු පිරිසක් සමග ඉකුත් අගෝස්තු 11 වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි සිට මැලේසියාව බලා යමට උත්සාහ කිරීමේ දී එරට ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. හරක් කටා ඩුබායි රාජ්‍යය බලා පළාගොස් ඇත්තේ හේරත් දිසානායකගේ රොෂාන් ඉක නමැති නමකිනි. ඔහු එම නමින් 891514107 V දරන ජාතික හැඳුනුම්පත් අංකය සහිත M 6692136 දරණ විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔහු දින 30 ක රැදවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවත්, එම දින 30 අවසන් වීමට ප්‍රථම ඔහු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටින බවත් පොලිස් ආරචි මාර්ග පවසයි.
ඉන්දිකා රාමනායක
0 Comments