hemmathagama-incident

උදෑසන ආහාර වේල සැකසීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් උරණ වී යකඩ මුගුරු, පහරකින් 81 හැවිරිදි මිත්තනිය පෙරේදා 12 වැනිදා දහවල් සාතනය කර ඇතැයි හෙම්මාතගම පොලිසිය පැවැසීය. පහරකෑමට ලක්ව මරණයට පත්ව ඇත්තේ තල්පිටියේ පදිංචිව සිටි මනන්නලාගේ නන්දාවතී නමැති 81 හැවිරිදි කාන්තාවක බව ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් රෝගී තත්වයේ පසුවන 13 හැවිරිදි මුණුපුරා සැක කෙරෙන බව පොලිසිය කියයි. හෙම්මාතගම පොලිසියට 12 වැනිදා දහවල් 11.45 පමණ ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී කාමරයක ඇඳක ලේ විලක් මැද මරණයට පත්ව සිටි අයුරු දැකගත හැකි වූ බව පොලිසිය කියයි.



සිද්ධිය වන අවස්ථාවේ සැකකරුගේ මව පියා නිවෙසේ නොසිටි බවත් මියගිය මිත්තනිය හා මුණුබුරා පමණක් නිවෙසේ සිට ඇති බවත් හෙළිවී යැයි පොලිසිය පවසයි. එහිදී උදෑසන ආහාර වේල පිළියෙළ කිරීමට ප්‍රමාද වීම නිසා ඉන් උරණ වූ මුණුබුරා යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී යැයි ද පොලිසිය පැවසීය. සිද්ධිය වූ ස්ථානයේ තිබි පහරදීමට යොදාගත් බවට සැක කෙරෙන යකඩ මුගුරක් හා පිහියක් ද සොයාගෙන ඇතැයි  පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත බණ්ඩාර දිවෙල්ගම මහතා ස්ථානීය පරික්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මළසිරුර කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙන යාමට හෙම්මාතගම පොලිසියට නියෝග කළේය.



කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරින් ස්ථානීය පරික්ෂණයක් පැවැත්වූ බව ද පොලිසිය පැවසීය.  මිත්තණිය ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක එම නිවෙසේම පදිංචි රෝගී තත්ත්වයේ සිටිතැයි පැවසෙන 13 හැවිරිදි මුණුබුරා පෙරේදා 12 වැනිදා පස්වරුවේදී හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට  නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.


-පී. ශාන්ත බණ්ඩාර-