historical-court-hearing

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Trial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ.

මෙම නඩුවේ විත්තිකරුවන් පස්දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  බන්ධනාගාර අධිකාරිවරයාට සිතාසි නිකුත් කොට ඇත. ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්‍රෑම් 198ක් ලංකාවට රැගෙන එන අතරතුර මහමුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් පදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති සංය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයත ජයසුරිය මහතා විසින් මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. ආදිත්‍ය පටබැදි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන්  මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් මහත්වරු කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ මන්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ඒ සඳහා හෙරොයින් කිලෝග්‍රෑම් 198ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම හෙරොයින් තොගය ළඟ තබාගැනීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කොට තිබේ.

(මනෝප්‍රිය ගුණසේකර)