indika-totawatte

ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත ඉදිරි 2023 වසරේ සිදුවන දේශපාලන පෙරළිය ගැන පළ කළ අනාවැකිය පහතින්

*ඇයි ලංකාවට මේවගේ තත්ත්වයකට මුහුණ පාන්න වුණේ?


ඇත්තටම ජ්‍යොතිෂය හරහා දේශපාලනය කියවද්දී ප්‍රධාන වශයෙන්ම අපි සැලකිලිමත් විය යුතු කාරණා කීපයකින්ම තියෙනවා. ඒ තමයි ඕනෑම රටකට අදාළව ලෝකායන ජෝතිෂයට අනුව ඒරටට අදාළ ලග්නයක් තියෙනවා. එතකොට ඒ ලග්නය, ඒ ලග්නයට සාපේක්ෂව සිද්ධ වන ග්‍රහ ගෝචරය සහ විශේෂයෙන්ම ඒ ලග්නයේ ස්වභාවය, ලග්නාධිපතින්ගේ ස්වභාවය ඒරටේ සියලුම කටයුතුවලට බලපානවා. පුද්ගලයෙක් ගත්තම ඒ පුද්ගලයාට අදාළ ගතිගුණ, ස්වභාවය වගේ දේවල් විග්‍රහ කරන එක තමයි ජ්‍යොතිෂයෙන් කරන්නේ. රටක් ගත්තම ඒරටේ ජනතාවගේ පොදු විඥානය පිළිබඳව ඒ රටට අදාළ ලෝකායන ජ්‍යොතිෂයට අනුව අදාළ ලග්නයෙන් අපිට බලන්න පුළුවන්.
දැන් ලංකාව ගත්තම ලංකාවේ ලග්නය වෙන්නේ කුම්භ ලග්නය. ලංකාව වගේ රටක ජනතාවගේ පොදු විඥානය වැඩ කරන්නේ කුම්භ රාශියට අනුකූලවයි. ඒවගෙන්ම කුම්භ රාශියට අධිපති වන ශනිගේ ක්‍රියාකාරිත්වයට අනුව. එතකොට දැන් අපි දන්නවා සෙනසුරු අවුරුදු 29 කට පස්සෙ තමයි පසුගිය අප්‍රේල් 29 වැනි දා කුම්භ රාශියට ආවේ. ගිය අවුරුද්දේ අන්තිමේ මම එක්තරා අවස්ථාවක පැහැදිලි කළා නිදහසින් පස්සේ කුම්භ රාශියට සෙනසුරු ආපු හැම වෙලාවකම සිද්ධ වෙලා තියෙන විශේෂ දෙයක් තමයි ඒ මොහොතේ පැවැති ආණ්ඩුව බිඳ වැටුණ එක.

උදාහරණයක් හැටියට 1965දී පැවැති සිරිමාවෝගේ ආණ්ඩුව බිඳ වැටුණා. ඒ වගේම 1994 දී මේ වගේම සෙනසුරු කුම්භයේ ගමන් කරද්දී ඒතාක් පැවැති අවුරුදු 17ක එජාප පාලනය බිඳ වැටිලා අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණා. ඒ වතාවෙත් පොදුජාතික ව්‍යාපාරක් හැටියට තමයි ආණ්ඩුව පත් වුණේ. එහෙම කියන්න හේතුව තමයි ජේවීපී අපේක්ෂකයා වුණ නිහාල් ගලප්පත්තිත් මැතිවරණයෙන් ඉවත් වෙනවා චන්ද්‍රිකාට සහාය දෙන්න. තුන්වෙනි වතාවට තමයි. දැන් මේ සෙනසුරු අප්‍රේල් 29 කෙටි කාලයකට කුම්භ රාශියට ආවේ. ස්ථාවර වශයෙන් සෙනසුරු කුම්භ රාශියට එන්නේ 2023 ජනවාරි 17 වැනිදා.

එතකොට අප්‍රේල් 29 ඉදලා සෙනසුරු කුම්භ රාශියේ ගමන් කළ ආසන්න වශයෙන් ජූලි 12 වෙනකන්. මේ ටික කාලය ඇතුළත තමයි මේ අරගල සිද්ධිය සිද්ධ වෙන්නේ. සෙනසුරු කුම්භ රාශියට ආපු හැම වෙලාවකම ජනතාවගේ පොදු මනස පවතින ආණ්ඩුවට විරුද්ධව බලවේග වශයෙන් නිර්මාණය වන අයුරු අපි දැකලා තියෙනවා. එතකොට අරගලයේ උච්චස්ථානයට එන්නේ ජුලි 09. හරියටම සෙනසුරු කුම්භ රාශියෙන් මකර රාශියට එන දවස් කීපයකට කලින්. හැබැයි සෙනසුරු මකර රාශියට ආවට පස්සේ සෙනසුරු උදව් කළේ අනෙක් පැත්තට. එතකොට සිද්ධ වුණේ අරගලය දියවී යාමක් සහ නැවතත් වක්‍රාකාරයෙන් පැවැති පාලන තන්ත්‍රය සක්‍රිය වුණ එක.

සෙනසුරු කුම්භ රාශියේ ගත කරපු අවස්ථා තුන්ම ඒ කියන්නේ 1965, 1994 සහ 2022 ආශ්‍රිතව සිදුවුණ පොදු සිදුවීමක් තමයි ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ හෝ බරපතළ විරෝධතා මතු වීම. ඒ හැම අවස්ථාවකම පාර්ලිමේන්තුව තුළ පවතින රජයට දැඩි අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා.



* ඒ කියන්නේ දැන් නැවතත් අරගලයේ අපේක්ෂාවලින් බැහැරව රට පැරණි තත්ත්වයටම පත්වෙනව කියන එකද?

  මෙහෙමයි. මේක සිද්ධ වෙන්නේ සෙනසුරු මකර රාශියට ආපු නිසා. නමුත් සෙනසුරු නැවතත් ලබන අවුරුද්දේ ජනවාරි 17 ස්ථාවරවම කුම්භ රාශියට පැමිණෙනවා. එතකොට ඒකත් එක්ක අරගලය අලුත් ස්වරූපයකින් වෙනත් විදියකට ආරම්භ වේවි සහ විශේෂයෙන්ම 65 සහ 94 වුණා වගේ පොදු ජාතික ව්‍යපාරයක් ඒ කියන්නේ විපක්ෂය එක එකතු වෙලා හැදෙන පොදු ජාතික ව්‍යාපාරයක නැගිටීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සෙනසුරු කුම්භ රාශියට පැමිණීමෙන් පසුව. මොකද සෙනසුරු කුම්භ රාශියට ආපු කලින් අවස්ථා දෙකේදීම ඒක වෙලා තියෙනවා.
නමුත්  ජනතා අපේක්ෂා ඉටු වෙයි කියලා හිතන්න අමාරුයි. සෙනසුරු කුම්භ රාශියට ඒමෙන් පොදු මනස වෙනස් වෙනවා පවතින ආණ්ඩුවට විරුද්ධව අලුත් පාලනයක් ගෙන. ඒ වුණාට සෙනසුරු ලග්නයට මරණකාරකයි. ඒ කියන්නේ එක් එක් ග්‍රහයන්ට මරණ කාරක ස්ථාන තියෙනවා. දැන් රවි ගත්තොත් රවි 12 දී දුර්වල වෙනවා. කුජ7 දි දුර්වල වෙනවා, චන්ද්‍රයා 8දි දුර්වලයි. ඒ වගේමෙ සෙනසුරු ලග්නයේ දිදුලයි. මූල ත්‍රිකෝණ රාශියක් නිසා සෙනසුරු ලග්නයට ආවම යම් බලයක් පෙන්නුවත් සෙනසුරු ලග්නයේ දී මරණකාරක ගුණය තියෙන නිසා පොදු මනස සකස් වෙලා අලුත් ජාතික ව්‍යාපාරයක් හිස එසවුවත් බලාපොරොත්තු ඉටුවෙන මට්ටමේ ප්‍රතිඵලයක් ලැබෙන එක ගැන සැක සහිතයි.

* ඉදිරියට මොකද වෙන්නෙ දේශපාලනයේ?

2023 ජනවාරි 17න් පන්සේ සෙනසුරු කුම්භ රාශිගත වීමත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකුම කාරණය තමයි විපක්ෂයේ බලවේග පොදු කේන්ද්‍රයක් වටා ගොනු වීම. එහෙම් පෙළ සන්ධානයක් විදියට ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයට විපක්ෂය පත් වීම මේ කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්, පසුගිය දෙවතාවේදිම වුණා වගේ.



* එතකොට මැතිවරණයක් පැවැත්වෙන්න මොන වගේ කාලෙකද?


සෙනසුරු කුම්භ රාශි ගතව ගමන් කරනවා 2023 ජනවාරි 17 ඉඳලා2025 අප්‍රේල් වෙනකන්. එතකොට සෙනසුරු සාමාන්‍යයෙන් රාශිගත වූ වහාම ප්‍රතිඵල දෙන්නේ නැහැ. ශනි කියන්නේ මන්දගාමී ග්‍රහයෙක් නිසා. නමුත් මම හිතනවා ගොඩක් වෙලාවට 2023 මැද භාගය වෙද්දී මැතිවරණයකට එන්න බල කරන අර කලින් කියපු පොදුජාතික ව්‍යාපාරය හරහා පොදුජනමතයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරේ ගත්තත් ඔහු දැනට ගත කරන්නේ බුධගේ කේතු අතුරු දශාව. බුධ ඔහුගේ බාධක ග්‍රහයා සහ 22 වැනි දෙර්කාණාධිපති. ඊළඟට ඔහුට ලබන්නේ ලග්නාධිපති සිකුරුගේ අන්තර් දශාව. මේ දෙකම ඔහුට යහපත් අතුරු දශා නෙවෙයි. ඒක නිසා ඔහුට ඉතාම අපහසු දුෂ්කර කාලයක් වෙනවා ඉදිරි කාලය පාලනය පවත්වාගෙන යන්න.

* මොන වගේ කෙනෙක්ද ඊළඟට බලයට එන්නේ?

ඒක මම හිතනවා කියන්න ඉක්මන් වැඩියි කියලා. නමුත් විශේෂයෙන් කියන්න පුළුවන් පොදු කේන්ද්‍රයක් වටා බොහෝ විට විපක්ෂ බලවේග එකතු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

* ඩලස් අලහප්පෙරුමට බලයට එන්න පුළුවන්කමක් තියෙනවද?

ඩලස් කටක ලග්නයේ කෙනෙක්. ඩලස්ටත් ලබන අවුරුද්දේ හොඳ ග්‍රහ බලපෑමක් තියෙනවා. ඒ වගේම අපි පිළිගන්න විදියට වෘෂභ ලග්න සජිත් ප්‍රේමදාසටත් සෙනසුරුගේ රාශි මාරුව ඉතාම ප්‍රබල පිහිටීමක් වෙනවා. ඒ නිසා මම හිතන විදියට නම් සජිත් ඩලස් එකතුවක් වුණොත් ඒක ඉතාමත් ප්‍රබල බලයක් බවට පත් වෙන්න පුළුවන්.

* ලංකාව වගේ දුර්වල ගමනක යෙදෙන්නේ කුමක් නිසාද?


ලංකාවේ ලග්නය කුම්භ රාශිය. ඕනෑම රටක පොදු විඥානය පෙන්වන්නේ ඒ රටේ ලග්නය අනුව. දැන් අපිට කිට්ටුම රට ඉන්දියාව, ඉන්දියාව වැටෙන්නේ  ලෝකායන ජ්‍යොතිෂය අනුව මකර  රාශියට. මකරය කියන්නේ චර, රජස් ගුණය තියෙන රාශියක්, ඉන්දියාව සහ ලංකාව නිදහස ලබන කාල සීමාව අතර මාස කිහිපයක වෙනසක් තියෙන්නේ. නමුත් දැන් ඉන්දියාව ඉතාමත් දියුණු තත්වයට පත් වෙලා යම් යම් අංශවලින්. අභ්‍යවකාශයට රොකට් යවපු රටක්. ඉන්දියාව මෙහෙම වේගයෙන් වැඩ කරන හේතුව තමයි ඉන්දියාවේ පොදු ලග්නය මකරය වීම. ශනිගේ ලෞකික රාශියක් වන මකරය රජස් ගුණය පෙන, ලෞකික ගුණය පෙන්වන ක්‍රියාකාරී චර රාශියක් නිසා ඔවුන් වේගයෙන් දියුණුව කරා යනවා. හැබැයි කුම්භ කියන්නේ උදාසීන තමස් ගුණය පෙන්වන හැමදාම එකතැන ඉන ගතිය පෙන්වන රාශියක්. ඒක තමයි අපි ඉතාම හෙමින් ගමන් කරන රටක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි කුම්භ ලග්නය වීමේ හොඳත් තියෙනවා. ඒ තමයි අපි ඉතාම මානුෂික ජාතියක් වීම. දැන් ඉන්දියාවේ අපිට සාදෙ ඒ ගුණය නෑ. හැබැයි අපි සංවර්ධනය අතින් පහළ මට්ටමක ඉන්නත් කුමි රාශියේ ගතිගුණ බලපානවා.



* හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් දේශපාලනයට පැමිණෙයිද?


ඔහුට දේශපාලන වශයෙන් සාර්ථකත්වයක් ලබන්න අමාරුයි. ඇත්තටම ඔහුගේ කේන්දරේ ප්‍රබල රාජයෝග පිහිටලා නැහැ. ඒක බහුතරයක් ජ්‍යොතිෂ්‍යවේදීන් පිළිගන්නා කාරණයක්, මහණ යෝග නැති කෙනෙක් සිවුරක් දාලා පැවිදි කරවන්න පුළුවන්. හැබැයි ඔහුට මහණ ජීවිතය ගෙන  යන්න අමාරුයි. ඔහුට ජනාධිපති වීමේ හැකියාව ලැබුණේ එම මැතිවරණ කටයුතු ප්‍රබල රාජයෝග ගණනාවක් හිමි බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවපු නිසයි. රාජපක්ෂ පවුලෙන් බැසිල්ගෙ කේන්දරේ තරම් කාගෙවත් කේන්දර ප්‍රබල නෑ. ඔහුගෙ කේන්දරේ සිරිමාවෝ මැතිනියගේ කේන්දරේව සමානයි.

* බැසිල් රාජපක්ෂ දේශපාලනික වශයෙන් දිව එයිද?

තවමත් බැසින්ගේ රාජයෝග බලය තියෙනවා. එළිපිට. නොපෙනුණට ඕනෑ කෙනෙක් දන්න කාරණයක්, ඔවුන්ගේ බලය තාමත් ක්‍රියාත්මක වෙනවා කියන එක. ගෝෂ්ඨාභය වන්ම රනිලුත් බලයට ආවේ බැසින්ගේ මේ බලය හින්දා තමයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න පුළුවන් කෙනා තමයි රටේ නායකයා. වික්‍රමසිංහ මහත්මයාට ඡන්ද 34ක් ලැබුණේ කාගේ බලයෙන් ද කියන එක ප්‍රසිද්ධ රහසක්. අනෙක් අතට ඔහුන්ගේ රාජ යෝග බලය පෙන්වන්න පුළුවන් තවත් දෙයක් තමයි ගෝඨාභය සහ මහින්ද දෙන්නටම දැඩි අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ 44 වීම. නමුත් බැසිල්ට එහෙම තර්ජනයක් ආවේ නැහැ. ඒකට එක හේතුවක් තමයි ඔහුගේ කේන්දරේ තියෙන රාජ යෝග බලය.

* තවත් රාජපක්ෂ ජනාධිපතිවරයෙක් වෙයිද?


මෙහෙමයි දැනට ඔහුට බලය තිබුණට සෙනසුරු කුම්භ රාශිගත වීමත් සමග එම බලය පොදු බලවේගයක් වෙත
යොමු වෙනවා. එතකොට විරුද්ධ පක්ෂයේ කෙනෙක් තමයි බලයට පැමිණෙන්නේ.

* රනිල්ගේ බලය තවදුරටත් ඉදිරියට පවතිනවද?

රනිල්ගෙ කේන්දරේ රාජ යෝග තියෙනවා. හැබැයි ඔහුගේ කේන්දරෙත් ජනාධිපතිවරයෙක් වෙන්න තරම් ප්‍රබල නෑ. ඉදිරියේදී ඔහුටත් දැඩි අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. සෙනසුරු යළිත් කුම්භ රාශිගත වීමත් සමග ඉතාමත් ප්‍රබල ලෙස ජනතා බලය වර්ධනය වීමට පටන් ගන්නවා. එම තත්ත්වය පරාජය කිර්මට රනිල් සහ බැසිල්ගේ බලයට හැකියාවක් ලැබෙන්නේ නැහැ.


* එක්සත් ජාතික පක්ෂයට කුමක් වෙයිද?

එජාපයේ කේන්දරය ගැන බැලුවම ඔවුන්ගේ ලග්නය මකරද කුම්භද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. හැබැයි ඔවුන්ගේ ලක්ෂණ බැලුවම මකර ලග්නය කියල තමයි හිතන්න පුළුවන්. එහෙම ගත්තම මේ ශනිගේ ගෝචරය ඔවුන්ට අයහපත් නැහැ. නැවතත් ඔවුන්ගේ වර්ධනයක්  බලාපොරොත්තු වෙන්න පුළුවන්. එම පක්ෂයෙත් රාජ යෝග හිමි අනාගත ගමනක් යන්න පුළුවන් පිරිසක් ඉන්නවා. අද හෙට නොවුණත් 2035 දී රාජයෝග බලන කෙනෙකුත් එම පක්ෂයේ ඉන්නවා.

* කවුද ඒ?

ඒ තමයි අකිල විරාජ්. ඒ සඳහා වික්‍රමසිංහ මතාන්ගේ සහයෝගයත් ලැබෙයි කියලා හිතන්න පුළුවන්.

* දැන් ජනතාවට මුහුණ පාන්න යවලා තියන අර්බුද දුරු වන්නේ කුමන කාලයේද?


පසුගිය ජනාධිපතිවරණ කාලෙත් මම ප්‍රකාශ කළා 2022 අප්‍රේල් 29 වෙනකන් මේ රට ප්‍රපාතයකට වැටෙනවා ඒකෙන් ගොඩ එන්න අමාරුයි කියලා. ඒකට හේතුව තමයි කුම්භ ලනය වන අපේ රටේ දොළොස්වැන්නේ තමයි ශනී ගමන් කළේ. ඒ කියන්නේ වැයස්ථානය. එතකොට අනිවාර්යයෙන් ආර්ථිකය පීඩනයට ලක් වෙනවා. හැබැයි සෙනසුරු අප්‍රේල් 29 කුම්භ රාශියට ඇවිල්ලා බොහොම කෙටි කාලයයි හිටියේ. නැවතත් ජූලි 12 සෙනසුරු වක්‍ර වෙලා මකර රාශියට ආවා. ආයෙත් සෙනසුරු වක්‍රයෙන් මිදිලා කුම්භ රාශියට එන්නේ 2023 ජනවාරි 17. එතකොට2023න් පස්සේ අනිවාර්යයෙන්  අපිට යම් සහනශීලි තත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට තවත් හේතු කීපයක් තියෙනවා. එකක් ගුරු ග්‍රහයා ලබන අප්‍රේල් වෙනකන් දෙවැන්නේ ගමන් කරනවා. රාහුත් වක්‍ර ගමනෙන් දෙවැන්නට පැමිණෙනවා. ඊළඟ ඒක නෙන් ඉදිරියට වසර 14ක් පමණ දෙවැන්නේ ගත කරනවා. එතකොට මේ තත්ත්වයෙන් සහනයක් ලැබේවි. මීළග අවුරුදු හය හත ඇතුළත ලංකාව යහපත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.

* අපිට විදෙස් රටවලට යටත් වී ජීවත් වන්න සිද්ධ වෙයිද?

ලංකාව ඉතාම වාසනාවන්ත රටක් හෝ ඉතාම අවාසනාවන්ත රටක් නෙවෙයි. ලංකාව තිර රාශියක් වීම ඒකට හේතුවක්. අපි දැනටත් බහුජාතික සමාගම්වලට යටත් වෙලා තමයි ඉන්නේ. ඒත් සමහර අය කියනව වගේ අපිට බරපතළ විදෙස් ආක්‍රමණයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අනාගතේ කිසියම් දවසක ලෝකයේ පාලනය ඉතාමත් ධනවත් ප්‍රබල පුද්ගලයන් කීපස්දෙනකු අතට පත්වීමේ ඉඩකඩ පවතිනවා. ඒ කියන්නේ ඉරාජ්‍යයන් විරහිත සමාජයක් ඇති වීමේ ඉඩක් මේ සියවසේ මැද භාගය වන විට තියෙනවා. අපිට විතරක් නෙවෙයි ලෝකයේ සියලුම රාජ්‍යයන්ට මෙම අවදානමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.


සාකච්ඡාව - මහේෂ් සමරවික්‍රම - තරුව