job-vacancies-graduate

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය මේ වනවිට 20,000 ඉක්මවා ගොස් තිබෙන බවත්, මෙම පිරිස් සඳහා රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බවත් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරයි. 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු

උපාධිය ලබාගත් පිරිස් මේ ආකාරයට රැකියා විරහිතභාවයට පත් වී තිබෙන්නේ, වසරක් පසා උපාධිධාරීන්ට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම නිසා බවද එම සංගමයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.මේ නිසා පළාත් මට්ටමින් රැකියා විරහිත උපාධිධාරීන් රැස්කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, මේ අනුව පළමු පළාත් වැඩසටහන අද ඌව පළාතින් ආරම්භ කරන බවත් හෙතෙම පවසා සිටියේය. මේ අනුව ඌව පළාත තුළ සිටින රැකියා විරහිත උපාධිධාරීන් අද බණ්ඩාරවෙල නගරයට කැඳවා සාකච්ඡා කර අදාළ තීන්දු තීරණ ගන්නා බවද මහේෂ් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, ඉදිරියේදී විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිතව සිටින අතර, මේ නිසා පවතින පුරප්පාඩු හඳුනා ගනිමින් උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට යෝජනා කරන බවත් ඒ මහතා පැවසීය.


(එච්.අයි. තුෂාර)